Monday, March 4, 2013
වැහි දෙකයි ...
වාහනේ ඡායාව නොපෙනී යද්දිම මහ හයියෙන් වහින්න පටන් ගත්තා,කියාගන්න බැරිතරම් හීතලකින් මුළු ඇඟම කීරි ගැහිලා,නුග ගහ අස්සෙං වේගෙං වැහි බිංදු බේරෙනවා,දැං වැහි දෙකයි.සීතල වුණාට මොකෝ වැස්සෙත් වැරැද්දක් නෑ.මඩ වල නිසා වාහන වලිං මඩ පනී කියලා මං පාරේ අයිනටම වුණා පොඩි එකත් අරං.
එදත් මේ වගේ වැස්ස දවසක්,ගේ ඇතුළත් නුග ගහ වගේ,වෙනසක් නෑ "වැහි දෙකයි",මීට අවුරුදු දහ අටකට කළියෙං,මට අවුරුදු දහයක් වගේ ඇති.
මල්ලිව කකුළෙ තියාගෙන මං නළවන්න හැදුවා,දන්නෙ එකම නැළවිලි කවියක් නිසා ඒක විසි-තිස් වතාවකට වඩා කිව්වා.
මල්ලියෙ ඔහොම නොකරන් අපෙ අම්මාට
දෙතනේ කිරි දුන්නේ අප දෙදෙනාට
තියන දෙයක් කැව්වෙත් අපි දෙන්නාට
බුදුන් වඳින ලෙස වැඳපං අම්මාට
කුස්සි කෑල්ල පැත්තෙන් එන සද්දෙයි,අකුණු සද්දෙයි නිසා මල්ලි නළෝගන්න අමාරුයි,කෑමොර තිය තියා අඬනවා.
"කන්නෙ මොනාද යෝදියේ,හම්බ කොරන්නෙ මං ඒවා තොගෙ උන්ට ගිල්ලපුවාම සනීපද තොට" බාප්පා අම්මට සැර වෙනවා මට යාන්තමට ඇහුණා.
මල්ලි පැත්තකිං තියලා මං ඒ පැත්තට කං දිහුවෙ බාප්පා අම්මට ගහවිදෝ කියන බයෙං.
"කෙල්ල පොඩි එකා නිදි කරනවා ,ඒකා ඇහැරේවී ඔහොම කෑගැහුවොත්,අදත් හම්බුණ තුට්ටුව මාලක්කගෙ කසිප්පු වාඩියට පූජා කරලා තව කෑ කොස්සං කරන්නෙ නැතිව මේක කාලා වැටිලා නිදාගන්නවා" අම්මා වැන්දෙ නැති ටික විතරයි.
සද්දෙ හැටියට බාප්පා බත් පිඟාන පොළේ ගැහුවා,මට හිතිං හපොයි කියවුණා,හීල්ලුණා.මටවත් මල්ලිටවත් නොදී අම්ම රෑ උයාපු මාළු වගයක් බාප්පට දෙන්න දුම් මැස්සෙ හංගනවා මං දැක්කා,ඒ අම්මා බාප්පගෙ හැටි දන්න නිසා වෙන්න ඕන.දවාලෙ මාත් කන ගමන් මල්ලිට කැව්වෙ පොලුයි බතුයි,අම්ම ඒකට මාළු හොදි ඩිංගක් දාන්න ඇහුවත් මං එපා කිව්වෙ මල්ලිගෙ කට දන හන්දා.
මං කුස්සියෙ පැළැල්ලෙං හෙමීට එබුණෙ ඇත්තට මොකද වුණේ බලන්න,බාප්පා බත් පිඟාන පොළේ ගහලා.පූසා මාළු කෑල්ල ඉව කරන්න හදද්දිම අම්ම ගහපු පාරත් කාගෙන"ඤාව්" කියාගෙන වැස්සෙම එළියට පැනලා දිව්වා.අම්ම මාළු කෑල්ලයි බත් ටිකයි උඩින් උඩින් එකතු කරනවා;බාප්ප ටිකකිං ආයිම කන්න හොයන නිසා.බාප්පා කුස්සියෙම වැටිලා මුකුත් නොවුණ ගානට අඩ නින්දෙ.අම්ම ඉතුරු බත් ටික දෙන්න පූසට කතා කළත් ඌ ආවේ නැත්තෙ වැදුණ පාර සැර වැඩිකමටමයි මයෙ හිතේ.
පිඟානේ කටු ටික අතට අරං අම්මා ඒ දිහාවෙම බලං ඉන්නවා,"අප්පච්චි කාපු පිඟාන".ලොකු හුස්මකින් පපුව පුරෝගත්තු අම්මා කටු ටික ලිප් බොක්කෙ අයිනකින් තිබ්බා. වීදුරු කට්ටකට යාන්තම් අම්මගෙ කකුළ කැපිලා,ලේ එනවා.ඒත් අම්මට ඒ ගැන වගක්වත් නෑ.අනේ මගෙ අම්මා,මං කියන්න දෙයක් නැතිව පැළැල්ල අස්සෙං අම්මා දිහාවම බලාන උන්නා.
"මල්ලි නිදිද දුවේ" අම්මා මාව දැක්කා.
"ඔව් අම්මෙ" මං උත්තර දෙන ගමං බාප්පගෙ ඇඟ බේරගෙන අම්මා ළඟට ගියා.
අම්මගෙ ඇස්වල කඳුළු,හැබැයි හිනාවෙලා මයෙ ඔළුව අතගෑවා.
මං අම්මගෙ මූණ දිහා ටික වෙලාවක් බලං උන්නෙ ඉස්සර වගේ එළියක් පේන්න නැති නිසා.යාන්තමට සුදු වුණ කොණ්ඩෙ,බොර පැහැ වෙච්චි ඇස්,ඒත් අම්මා ලස්සනයි.
"වැස්ස අඩු වුණාම කඩේට ගොහිං උදේ කඩයප්පං හිලව්වට හාල් හුණ්ඩු දෙකක් අරං වරෙං දුවේ" අම්මා මල්ල දික් කරන ගමං කිව්වා.
අම්මා ආයෙත් හිනාවෙලා කොටල තිබ්බ පිටි ටික හලන්න ලෑස්ති වුණා.වැස්සත් අඩු වුණා.සොපිං කවරයක් ගත්ත අම්ම ඒක මගෙ ඔලුවෙ ගැටගහලා "දාංගල් නොකර හෙමිං කඩේට ගොහිං වරෙං දුවේ,මේ අකුණු ගහන අස්සෙ දං පඳුරු අස්සෙ එහෙම තැක් ගැහෙනවා එහෙම නෙමෙයි ඕං" හැමදාම වගේ කිව්වා.
මල්ලත් අරං මං දෙවට දිගේ කඩේ පැත්තට ගියා,වැස්සෙ සැරට ඉද්ද මල් ඔක්කොගෙම පෙති හැලිලා,වැස්ස නැවතුණාට මොකෝ තාමත් හුළං ගස් පෙරලෙන තරම් හයියෙන්,සද්දෙත් එහෙමමයි.ඉස්සරහට වැටුණ පොල් අත්තෙන් අනූ නවයෙන් බේරුණේ,තව ඩිංගක් ඉස්සර වුණා නම් මයෙ ඔලු ගෙඩිය හතරට පැළෙනවා.මං උඩ බිම බලමිං පුළුවන් වේගෙං කඩේට ගියා.
මුදලාලි මාමා හොඳ මනුස්සයා,ඒත් ටිකක් අමුතුයි.අම්මා මට කියලා තිබ්බෙ කවදාවත් කඩේ බඩු අරං කයිය ගගහා ඉන්න එපා විජහට එන්න කියලා.
"මුදලාලී,අම්ම කිව්වා කඩයප්පං හිලව්වට හාල් හුණ්ඩු දෙකක් ගේන්න කියලා"මං කඩේට ගොඩ වෙන්නත් කළියෙං කියාගෙන ගියා.
"මොකෝ බං කෙල්ලෙ හදිස්සිය"
"වහීවී ආයෙත්" මං උත්තර බැන්දා.
"හා,හා..බොලාගෙ අම්මට කියහං දැනටම සති දෙකක් විතර ඉස්සරහට කඩයප්පං හිලව්වට බඩු අරං තියෙන්නෙය කියලා" ගොළු වෙච්ච මං ඔළුව වැණුවා විතරයි.
හාල් හුණ්ඩු දෙක මැනලා මල්ලට දැම්ම මුදලාලී "උඹට බුල්ටෝ එකක් දෙන්නද කෙල්ලේ හප හප යන්න" කියලා ඇහුවා,හා කියන්න කට ඇරුණත් අම්මාගේ උපදෙස් සිහිවුණ නිසා කරබාගෙනම එපා කියමින් මං කඩෙන් එළියට බැස්සා.
"අනේ අප්පච්චී උන්නානම් ,මට හැමදාම කඩෙං බුල්ටෝ අරං ඒවී හවහට"
කී සැරයක් මට එහෙම හිතිලා ඇද්ද? ඒත් ආයිම අප්පච්චී නො එන බව මං දැනං උන්නා.
අප්පච්චී වැඩ කළේ ටවුමෙ ඔෆීසියක,ඒ දවස්වල අම්මයි,මායි,තාත්තයි ගොඩක් සතුටිං උන්නෙ.ඒත් එක දවසක් ටවුමෙදි අප්පච්චී බස් එහෙකට හැප්පුණා,එතකොට අම්මට මල්ලි හම්බෙන්න.තාත්තා ඉස්පිරිතාලෙට ඇතුල් කරද්දිත් මැරිලා කියලලු කිව්වෙ.මට ඒ දවස්වල ඒක නොතේරුණත් ඉර බැහැං යද්දි අප්පච්චී නො එන කොට මහා පාළුවක් දුකක් දැනුණා.
ගමේ උදව්වට කියලා උන්නෙ බාප්පා විතරයි,ඒ දවස්වල බාප්පා හරි හොඳයි,මා එක්ක හවහට ඇවිත් සෙල්ලම් කළා,බුල්ටො ගෙනාව,අන්තිමට බාප්පා අපේ ගෙදරම නැවතුණා.
"ආවද දුවේ?,මැස්ස උඩිං තියහං ඕක" අම්මා ඉඳි ආප්ප තට්ටු පිහදනවා.
වෙනදා වගේ අම්මට උදව් වෙන්න හිතුණත් මං මුකුත් නොකියම මැස්ස උඩිං මල්ල තියලා මල්ලි ළඟිංම ගිහිං නිදාගත්තා,මුදලාලී කිව්ව ඒවා අම්මට කියන්න උවමණාවක් වුණේ නෑ,මොකද හැමදාම මුදලාලී ඔය ටික කියනවා.
ඊට දවස් දෙක තුනකට විතර පස්සෙ බාප්පා මල්ලී මායි එක්කං දළදා වඳින්න නුවර ආවා,ඒත් අම්මා එක්ක ආවේ නෑ,සල්ලි මදියි කියලා.මාවයි මල්ලිවයි ගහක් යට නවත්තලා බාප්පා කන්න දෙයක් ගේන්නයි කියලා පාර පැන්නා. බාප්පා දැං ඒවීය,දැං ඒවීය කියලා මල්ලිවත් කරපින්නං මං බලං උන්නත්, එදා කන්න ගේන්න ගිය බාප්පව මං මේ වෙනකම් ආයිම දැක්කෙනම් නෑ.
මල්ලිගෙ ඇඳුම් දෙක තුනක් ඔබාපු පං මල්ල විතරයි මයෙ ළඟ තිබ්බෙ,මල්ලි බඩගින්නෙ අඬද්දි මං නුවර මාළිගාව ළඟ දණින් වැටීගෙන යන එන අයගෙන් කන්න යමක් ඉල්ලුවා,කඩපිල් ගානේ නිදාගත්තා.ටික ටික ලොකු වෙද්දි, වෙච්ච දේවල්,වෙන දේවල් වැටහෙද්දි ලැබෙන සතේ සතේ හරි එකතු කරලා මල්ලිට දුන්නා කඩයක් දාගන්න.අනේ මගෙ පොඩි මල්ලි ඌ දවල් රෑ වෙහෙස,මාන්සිය නොබලා වැඩ කරලා කඩේ ලොකු කළා. අලුතිනුත් තව තව තැන්වල කඩ පටන් ගත්තත් එක්ක. දැං මල්ලි නුවර ලොකු තැනකින් පෙළවහකුත් කරගන්නයි ලේස්තිය.මට සතුටුයි. මේවා දකින්න අම්මත් හිටියනම්,ඒත් යන්න එන්න තරම් මතකයක් ගම ගැන මට නෑ.
"ආ මේ කුඩේ ගන්න" තෙමි තෙමි පොඩි එකත් තුරුල් කරං උන්නු මට කුඩයක් දික් කළා.
"මල්ලී"මට හිතිං කියවුණා.
"පොඩි එකා පොඩ්ඩක් ගනිං,මේ බෙඩ් ජැකට් එකයි රෙද්දයි හදාගන්න"මං මල්ලිට කිව්වා.
මුකුත් නොකියම පොඩි එකා අතට අරං මං චීත්තෙ හදාගන්නකම් මල්ලි බලං හිටියා.
"පුතේ මාමයෙ මූණ බලාගනිං"මං හිතිං හිතමිං කොල්ලව ආයිත් මගෙ අතට ගත්තා.කුඩේ දුන්න මල්ලි,පොඩි එකායෙ ඇඳුම අස්සට සල්ලි කොළ වගේකුත් ඔබලා කාර් එකෙන් වැස්සෙම නොපෙනී ගියා.
"පුතේ, උඹලයෙ මාමා මාව තියාගත්තොත්, උඹව දීපු උඹෙ අප්පච්චි මාමා එක්ක තරහා වේවී, එහෙම වුණොත් මාමයෙ මහන්සිය ඔක්කොම වැස්සට හේදිලා ගියා වගේ පුතේ.මාමගෙ කඩ කෙරිල්ලයි,කසාදෙයි ඔක්කෝටම මුල් තැන අරං කරන්නෙ උඹෙ තාත්තනෙ පුතේ ,නැත්තං උඹලගෙ මාමා මට මෙහෙම කරන්නෙ නෑ.මේ පුතේ, කුඩේකුත් දීලා යන්න ආයිත් ආවනෙ උඹෙ මාමා".
මං කුඩෙත් ඉහළං නුග ගහ යටිං වාඩි වුණා,පොඩි එකා අඬනවා."දන්න එකම කවිය උඹටත් කියන්නම් පුතේ" නාඩා නිදාගනිං....
(ප:ලි:-මින් පෙර කිසිදු ආකාරයකින් කෙටි කතාවක් ලියා නැත්තෙමි,හදිස්සියේ උපන් සිතුවිලි පෙළක් මෙසේ අකුරු අතරට ගුනු කිරීමට සිතක් පහළ වුණි.මේ එහි ප්‍රතිඵලයයි,හැකිනම් රසවිඳ ගුණ දොස් කියන්නේ නම් මා හට කරන මහත් උපකාරයකි.)
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment