Sunday, February 9, 2014

අම්ම කිව්වේ එහෙම___



කැටි ගැහුණ කිරි හොද්ද අනා මං කැව්වාට
දන්නවා මල්ලියේ කන්න බැහැ කෑවාට
හරි සැරට අප්පච්චි "සැර මදි"යි කිව්වාට
මට සතුටු කොහොම හරි උඹේ බඩ පිරුණාට

ඉරී ගිය චීත්තය මමත් ඇඳ උන්නාට
මුකුළු කර දෙකම්මුළ තද කරං ඉම්බාට
ළඟ තියං ඉස් මුදුන රෑත් අත ගෑවාට
හීනෙනුත් අඬ ගැහුවෙ උඹ අපේ අම්මාට

ඉඳ හිටක අකුණකට,රැයට බය හිතුණාම
"පොඩි එකී නොවි හිටිං" අප්පච්චි කියුවාම
පොඩි උඹව තුරුළු කර ඇස් දෙකම වැහුවාම
අම්ම ඉන්නව වගෙයි,උණුහුමයි මට තාම

මල්ලියේ අර අතන පේන අර කඳු මුඳුන
එයින් එපිටට විහිද හිනාවෙන තරු මුහුණ
අම්ම කිව්වේ එහෙම! ඉන්න බව ඇය එතැන!
මගෙ පුරුදු නැළවිල්ල කියා ඇසෙනා ලෙසින..

Tuesday, January 21, 2014

මඟ හැරී යාම___




කාලය,සුළඟ සේමය,අතැඟිලි අතරින් සියුම් ස්පර්ශ තබා ගලා යන්නේමැ'යි.නහරවැල් ඔස්සේ මතක පමණක්ම හදවතට දිවෙයි,තැන්පත් වෙයි.සිතුවිලි,මිනිසුන්,සිහින කාලය සමඟින්ම ගලා යයි,අවැසි වුවත් නවත්වා ගැනීමට නොහැකි තරම්ම වේගවත් ලෙස ගලායයි.බිඳීමටත්,විසිරීමටත් ඔරොත්තු දීමට තරම් සවියක් නිපදවා ගත හැකියි නම් මේ ගලා යාම එතරම් අපහසු නොවනු ඇති.

නමුත් ඒ තරම්ම සිත දැඩි කරගැනීමට තවත් කාලය අවැසිය,කාලයේ වැදී සිත තවත් තලා ගත යුතුය,තැලෙන්නට තැනක් ඉතිරි නොවන තෙක් තලා ගත යුතුය.එසේ කිරීමෙන් තවත් තැලීම් නොදැනෙණු ඇත්ද?යමෙක් දුක් වෙයි නම් ඔහු සතුට ලැබූ කෙනෙක්ය,සතුට දන්නා නිසාවෙන් ඔහු දුක්වෙයි,සතුට නොහැඳින සිටියානම් අගේ යැ'යි මට විටක හැඟෙන්නේ එබැවිනි.නමුත් එය එසේ සිදු වීමට තරම් අවකාශයක් නොමැත.එනිසාවෙන්ම කෙතරම් තැලුණද ඊළඟ තැලීමේදී පවා හලන්නට අලුත් කඳුළක් අපට ඇත.වෙනස් වන්නේ කඳුළ ඒමට සහ පිටවීමට ගතවන ''කාලය''ම පමණි.

කාලයත් සමඟ සසඳන විට තනි අතකට සමහර දේ බොහෝ සෙයින් බරින් වැඩිය,එවන් වූ දේ අත්හැර ඉදිරියට ගමන් කිරීමටත් සිනාසීමටත් අප පුරුදු විය යුතුය,තැනක සිට බලන විට ජීවිතය යනු කාලය තුළ අවස්ථානෝචිත අත්හැරීමත් රඳවා ගත් දෙය රැක ගැනීමත්ය.එක් දෙයක් අත හැරුණු පසු නැවත හමු නොවනු ඇත,එසේම අතැති දෙය වැටුණහොත් එය ද අහුළා ගැනීමට හැකියාවක් වෙත්දැ'යි කාට නම් කිව හැකි ද?

කාලය සුළඟ සේමය,කාලයෙන් ජීවිතයේ හිස්තැන් පිරවෙන්නේත් පුරවාගත හැකි වන්නේත් එබැවිනි.එසේම ගෙවී යන කාලය තුළ අහිමි වන දෑ වෙනුවෙන් තවත් බොහෝ දේ ඉදිරියෙහි නිමැවී ඇත,කාලය පවතිනා තෙක් මම එය තරයේම විශ්වාස කරමි,ඉතින් විශ්වාසය ඇති තෙක් සිනාසෙමි...

Wednesday, January 15, 2014

නික්මන___





සිහින් තුඩු මිරිවැඩියෙ සළකුණ
මැකූවත් නොමැකිලා බේරෙන
ලිහිල් හද පතුළටම නික්මුණ
මතකයකි මතකයෙහි සඟවන

ළදල්ලක් රත් නියෙන් පෑරුණු
තවම සනසමි සිතින් නොදැමුණු
පුදුමයකි නුඹ ඇසෙහි නොගැටුණු
ඇහැළ මල් මඟ දිගෙහි විසිරුණු

තණ පතක තනි වෙච්ච පිනි කැට
සක්මනෙන් බිම පතිත වන විට
තවරමින් නිරුවත් පතුල් යට
සිසිල් වී නුඹ ගියා ඉවතට

විහඟ ගීතය පවා ඇත්තට
කරදරද සවණෙහි දෙපැත්තට
වසා උන් මුව,ගිවිස ගත්තට
මැලියි දැන් සුළඟත් හමන්නට

රෝස කටු තුඩු ඉකි බිඳුම් මැද
රෝස මල් බිම වැටී පෙති සිඳ
පාට සුළඟෙහි විසිර යන සඳ
නික්මුණිද නුඹ උයන් සිරි විඳ....