Monday, March 25, 2013

කිඳුරු වත.......



සිතක් අත ගෑ සුවඳ තවරා
අමාවක රෑ සඳට පවරා
කිඳුරි අතහැර දුරක කිඳුරා
නික්මුණා යළි එමි'යි කොඳුරා

සුවඳ මල් විල් අනෝතත්තය
සිඳී යනවළු ආ වසන්තය
මෙතෙක් නොදුටුව සුව අනන්තය
රැගෙන එයි හේ රිදී කොන්තය

කිඳුරි තෙම පැටවුන්ට ළංවී
කියයි වං හුං විලෙන් වෙන්වී
රකුස් ඇස් බෝ සෙයින් පේවී
බලයි විල් තෙර අඳුරෙ නෑවී

මුවන් පසු පස පැමිණි බඹදත්
හොඳින් දැනගෙන කිඳුරු නැති තත්
අනවසර ලෙස බින්ද පතිවත්
කිඳුරි හැර වෙන කෙනෙක් නොදනිත්

කඳුළු දිය විල් තෙරට එක්වී
තව තවත් රළ ඉහළ නැංවී
ළසෝගිනි දී රකුස් ළංවී
කිඳුරු පැටවුන් ගියා වෙන් වී

විල් තෙරක පෙර ඇහිලු සිහිනය
ගෙන කිඳුරු තෙම එන්නෙ මෙදිනය
වස් දඬුව නැත බොල් වු පවනය
ගොලු වු විල ඇඳ ශ්වේත අඳනය

Thursday, March 21, 2013

ගොවි රජ වත....



කඳුළු දියෙන් යළ මහ දෙක සරුකරන්න අප්පච්චී
හෙළු දහදිය අඳ කුඹුරෙන් අටුවට ණය පිරවෙච්චී
පාට පොහොණි ගිය අත්තටු ගේ මුල්ලක පොල්කිච්චී
තවත් නැකත් දුර බව දැන කඳුළු අරං හැංගිච්චී

වලව්වෙ කුස්සියෙ මුල්ලක අපෙ අම්මා සුසුම් රකින
උදේ හවා රැකි සුසුමෙන් හිස්වුණ කුසවල් පුරවන
දැවෙන දවන වදන් මැදින් ඉරුණු ජීවිතේම වියන
සුවඳ නොවෙද මේ දිවි මග නුඹෙ කරගැට කුසුම් පිපෙන

Wednesday, March 20, 2013

නැළවියන් මල්ලියේ...



 
නැති මාළිගා සයනය මල්ලියෙ නුඹට
නොකියමි නිදන කවියක අතුරා කනට
මොළකැටි නුඹව දැක එන කඳුළැලි නෙතට
සගවා කියමි කවියක් රසකර හැඩට

සෙයිලම පුරා දිදුළන රන් එළි මැද්දේ
පට පිළි නොයෙක් පැහැයෙන් සුරගනො ඇන්දේ
මම නම් පරව යමි මේ මහ මග බැද්දේ
මල්ලියෙ නුඹව දිනවා සුරපුර යුද්දේ

රන් කිරි නැතත් මල්ලියෙ අද නුඹෙ දිවට
එය නුඹෙ නොවේ නුඹෙ අක්කා කළ පවට
නල ළිං කටින් උනනා දිය කිරි මුවට
තියෙනෙමි අදට විතරක් නාඩං සඳට

කහවණු සිළිං හඩදී එන බෙලෙක්කෙට
නිදියන් අවදි නොමවෙන් නැගෙනා හඩට
එරුණේ නැතත් කිරි හිරිමල් තන අගට
කිරි කළ හතක් පොවනව මල්ලියෙ නුඹට

Saturday, March 16, 2013

පහළ පෙළේ මල්...





ඉහළ පෙළේ මලක් වෙලා අනෝතත්ත විලේ
පිපී ඉන්න වරම් නැතිලු කුමුද පහළ කුළේ
බියවි පෙරඹ පිපී එන්න දැක දිනකර බලේ
පෙති විහිදා කුමුදු මලක් රාත්‍රියට ඇලේ

කළුවර වූ හීනය ළග පෑළවියත් අගේ
බොල් පවනින් එක මොහොතක කුමුදේ හඩ නැගේ
සඳත් නොමැති එක රැයකදි කුමුද ඔයා මගේ
සරැලි මතින් විල්තෙර කියනවා සුළග දිගේ

Wednesday, March 13, 2013

නව සෑ බඳිනවලු නොයනෙද නුඹ බේරී..

 
 
වියළි අතු පියසි පොල් අතු විමානයේ
කඩල ගොටු බඳින දැලි ගත වැකුණ ලියේ
කුසේ ළැමේ දරු සම්පත් දරන්නියේ
රනින් තෙලඹු ගස් නොදුටුව රන් මලියේ
 
පහළින් සරැලි මුහුලස ගෙඩිකර බැන්දේ
නොදුටුව අඳුන් නෙත්කොන් රත් පැහැ ඇන්දේ
දුම් රොටු වත්සුණුව දෙකොපුල් මත නින්දේ
විමනෙන් බැහැල දුරකට යන්නලු ලන්දේ

සළෙලුන් දෙවියො වී රෑ යම වඩින්නියේ
රන් විමනට බර වැඩි වුණි නොවෙද රැයේ
දිවසැප සොයා ටව්මට යන කෝච්චියේ
හදවත ගැස්ම සුළගට දියවෙලා ගියේ

විමනේ පියසි අතරින් සඳකත් සීරී
කළුවර ගොඩවෙන්න එළියේ හරි ගෝරී
රත්නමාලි නුඹ නොවුණට සෝමාරී
නව සෑ බඳිනවලු නොයනෙද නුඹ බේරී

Tuesday, March 12, 2013

දැහැන් බිඳෙනව හිමියනේ...



විදසුන් වඩන සෙනසුන හැර අලුයමෙහී
වැඩියෙමි දනට අසළක වූ ගොවි ගමෙහී
වැහැරුණු ගැතැති උවැසිය සිටි අතු පැළෙහි
එළියට පැමිණ සක්කර දෙක තැබි පතුළෙහී

හිමියනි එයින් නැගුණා වූ බොල් හඩට
විදසුන් බිඳුණි කඳුළක් වැඩියා නෙතට
''හිමියනි හෙටත් වඩිනෙද ඔබ මෙහි දනට''
ඇසු විට උවැසි තුමු වෙද පිළිතුරු මෙමට

වැඩි මුත් සෙනසුනට ගම් තොට දන් සනසා
උවැසිගෙ ගෙපැළ ළග සිත නැවතුණ විලසා
හිමියනි කමටහන් දෙනු ඇති තතු පවසා
දැහැනින් මිදෙයි ඉන්නට බැහැ මෙය ඉවසා

මගෙ ගම් තොටේ අම්මා ඇති ඔය ලෙසට
සක්කර දෙකක්වත් නැතුවැති ඇගෙ නමට
හිමියනි කෙළෙස යන්නද මා මොක් පුරට
අම්මා නතර කර දියතෙහි ගිනි අගට

Wednesday, March 6, 2013

සළු සිනිඳු මැ'යි..දිවිය රළු මැ'යි..

ඉරණමේ කතුර ගෙන ජීවිතය කපන්නී
ඇද පළුදු දුරට කර හැඩය නිති මවන්නී
සිහිනයේ රටාවන් ඒ මතින් අඳින්නී
දේදුන්නෙ පැහැය ගෙන සිත්තමක් කරන්නී

හීන් ඉඳිකටු තුඩින් ජීවිතය සොයන්නී
මාන්සිය දුරට කර සිත් තැවුල් මකන්නී
කාන්සිය සිත අසළ තබා ඉකි ගසන්නී
පාන්සිළු එළි මැදින් නොපිපි මල් ගොතන්නී

දිලෙන පිනි බිඳු අතර රෑ සිහින දකින්නී
ඉඳිකටුව රිදුම් දෙන නමුත් පෙම් බඳින්නී
සැලෙන සිත අතට ගෙන සඳ එළිය ගොතන්නී
තම සිහින සළු මතින් අන් සිහින මහන්නී

අසංවේදී දුකක පැටළිලා තැවෙන්නී
අසංවාදී සිතට වහං වී හඬන්නී
කිසිවෙකුත් නොදකිනා දුක කාට කියන්නී
සිනිඳු සළු පිළි අතර රළු දිවියෙ බැඳෙන්නී

මිලින වන ඇසිල්ලෙහි අනේ මල හිනැහුණා...

     

අහස දුන් පිනි බිංදු
අහසින්ම ගෙන ගියා
ඒත් මල ළංවෙලා
හිරු වතට පෙම කළා

සුමුදු පෙති අභිමුවෙහි
සුපෙම් ගීයක් ගයා
රොනට වන් බඹර කැළ
රොන් අරන් දුර ගියා

රාස්සිගෙ අව්ව ළඟ
දුටු සිහිනයන් නිවා
ළමැද ගෑ වත්සුණුත්
අරං සඳ කළු වුණා

තවත් එක වරක්වත්
සමනලුන් සොය සොයා
මලේ පෙති සුළඟ මත
සරා වෙස් ඇතිරුවා

නොපැමිණෙන බව සපථ
වී හිරුට ළං වෙලා
මිලින වෙමි ඉත සිතින්
මලක් පෙති හැකිලුවා

ඉතිරි මකරන්දයත්
මදනලට හැරපියා
මිලින වන ඇසිල්ලෙහි
අනේ මල හිනැහුණා..

Monday, March 4, 2013

පුංචි එක තරුවක්...



                   



මහ අහස් වියනක්
පුංචි එක තරුවක්
දිහා මම වරුවක්
බලා උන්නා සිතමිං

අනේ තනි තරුවේ
මහ අහස් ගව්වේ
තනිකමට ළං වී
ඉකිගසනවාදෝ
විහිදෙනා මේ රැස්
ඒ කඳුළු නොවෙදෝ?

තරු හිනැහී මවෙත
මෙහෙම කිව්වා සබඳ,

තනිකමක් තියනවා
ඇත්ත මං අඬනවා
ඒත් පොඩි යාළුවේ
මේ එළිය කඳුළු නොව
කඳුළු දෝතින් අරං
හිනාවී ලොව දකින
මගේ නිල් නෙත් යුගයි

තරුව එළෙසට කියා
යළිත් එහි තනි වුණා



                                        

සිහිනයක් වෙලා ගම


 

 

දිනක පෙර ඕවිටේ බෝවිටිය දං කහට
මතක ඇත අද වගේ සුවඳ දුන් ඉල් මහට
බැතක වරුණා අරං වී කරල් නැමෙන විට
සිතක ඉපදුන සිතුම් තාම එළියයි ඇහැට

වී කවුඩු ගේ කුරුළු ගිරා හඬ පිස හමන
ඈත දුර ඉසව් වල සුවඳ රැඳි ඇල් පවන
කීන දං සඟෝගත් නිසොල්මන් නුග සෙවණ
දෑ සවන් පුරෝගෙන හඬනයුරු අද ඇසෙන

නිල් ගුවන සිප ඇදෙන විටදි මහ කළු වළා
වැව් දියේ නිළුපුලන් මද නලට පෙම් කළා
දිය සෙවල බැඳි බැඳී පරණ වුණ ගල් තලා
සිහිනයෙන් පෙර සේම "ගමට එනු" ඉඟි කළා

බැද්දෙ හේනෙන් ඇසෙන සිව් පදක රස තියා
පැළේ කොනකට වෙලා වස් දඬුව පිඹි නියා
පුන් සඳත් නැති රැයේ තරු කැළුම් සොය සොයා
නොදැනීම අද රෑත් හොරෙන් හේනට ගියා

පන්සලේ පාමුළට වී පිපුණ අරලියා
වැට දිගට මායිමේ පිරුණ ගස් හෙරලියා
ඇල අයිනෙ පිරුවටය සඳ සිඹින කෙකටියා
තවත් එක් සිහිනයකි පැමිණි ගම හැරපියා

අපි කොතැනද


නේක කැපුම් කෝළම් දැක රටේ ඉතා
පාත රටේ මුරගල් ඇඹරෙනව පුතා
පෑන් තුඩින් හැඩ ඇති සිතුවමක් පතා
තාම සිහගිරේ හඩනව විජ්ජු ලතා

සිදුහත් සගරාවෙ පාඩම් පසක හළා
වල්වැදි වචන අවජාතව එකතු වෙලා
මොරදෙන වදන් ඇතුළට තාලයක් පෙළා
සිංහළ කවිය සැළලිහිණිය දුරස් වෙලා

අවුකන හිමිට පණ පෙව්වේ අපේ එවුන්
පැරකුම් වැවෙන් දිය රැක්කේ අපේ එවුන්
බුදුහිමි පහස සිරි ලද්දේ අපේ එවුන්
එනමුත් කිමද හැංගී අද අපේ එවුන්

සයුරක් අසළ...


  
           

           



ගොම්මං අඳුර මැද ඉටි පන්දම් එළිය
වටවී සුළං හීතල කරනව වලිය
පොල් රුප්පාව නගනා මූසල සිළිය
කපනව වරින් වර වැටෙනා සඳ එළිය

කැපෙනා සඳ එළිය මැද නෙතු විදාගෙන
නැගෙනා රළ පෙළෙහි හදවත තියාගෙන
බිඳෙනා රළ හඩින් සිතුවිලි දරාගෙන
ලලනා රුවකි ක්ෂිතිජය දෙස බලාගෙන

හොයියා හඩක් නැගෙනා විට වෙරළ කොනේ
ඇගෙ ළය මඩළ එසැවී හඩනවා දැනේ
රිදිලා වගේ විටකදි නෙතු විඩාවෙනේ
සුරුවම වෙතට බැල්මන් හෙලනවා පෙනේ

වැටකෙයියාව පස සැගවුණ අතු පැළක
ඇසෙනව බිළින්දෙක් යළි හඩනා සෙයක
සිතුවිලි සමුදුරම තියලා ඇය පසෙක
බිළිඳා කැටුව සක්මන් වෙරළේ විටක

තම බිළිඳාව නොතබා වෙරළත රළට
රළ පෙළ නොපාගා ඈ යයි පසු පසට
තද කොට බදාගෙන තම බිළිඳා ළැමට
සුසුමින් බරවු නෙත් හෙළනව ක්ෂිතිජයට

හිතුණත් ඇගෙන් වගතුග ගොස් අසන්නට
තවමත් නොවැටහේ කාරණෙ හැරෙන්නට
නොගියත් නැවත ඒ වෙරළේ සරන්නට
හිතවත් ලෙසට විණි ඇගෙ රුව මැවෙන්නට

අඹමි ජීවිතය..





                               
 



හඳුනනවාද
මේ මැටි පිඩ
ඇද හැඩ වෙනා
මට අවැසි වූ ලෙස
ඉඳින් එක් පිඩක් ගෙන
අඹමි මාගේ කවිය
මගේ ජීවන කවිය

රළු තැන
රළු කරමි
කළු ගලක් විලසට
යකුළු පහරින් වුව
නොබිඳෙනා
විලසට
මෘදු තැන
මෘදු කරමි
සුසුම් පොදකින් පවා
ඇකිලෙනා විලසට

ලියකම් නොතබමී
දෑස් නුඹෙ වෙහෙසන
රළු රැළිති
සගවාලන
මෘදු බවක් අතුරුවාළමි මතුපිට

සටහනක් නොතබමි
ඒ මගේ විත්තිය
නමුත් සගවා යමි
මගේ හද උණුසුම
ළං වෙලා
බැලුවොතින්
හදුනාවි
ඔබ
එය

පහුවුණ පෙරහැර පිටුපස හිත හැඬුවා අම්මේ....





 

නළල් තලේ නුඹේ පහස- පංසල පිස ආපු සුළඟ- නුඹ පාදපු මේ දෙනෙතින්- ලොව දැක්කා අම්මේ
නුඹ අනාපු බත් කටකිං- හයිය අරං මෙහෙට ඇවිත්- වෙඩි හඬ මැද දිරිය අරං- රට රැක්කා අම්මේ
මමත් නොදැන දුර ඈතක -සතර දෙනෙකුගේ කර මත -යද්දී නුඹ නේන ගමන -නොම දැනුණා අම්මේ
එළි පෙහෙළිව රළු මං පෙත්- හිරු පායා නැගෙණ විටදි- මගේ ලොවට පායපු නුඹ- නිවිල ගිහිං අම්මේ



තරු වටීද හිරු තරමට -තරුවැල් සේරම විසිකර- නුඹ වැඩි ඒ දූලි මගේ -මියෙන්නම්ද අම්මේ
සතර කොනිං නුඹෙ බර ගෙන- යන්නට පිං මදිවුණ කොට -පහුවුණ පෙරහැර පිටුපස -හිත හැඬුවා අම්මේ
හදවත තුළ කීරි ගැහෙන- සිතුවිලි හැම යටපත් කර- යුධ බිම අසරණ මව් වරු- දෝතින් ගමි අම්මේ
උන්ගේ සිනහව අතරින්- තුටු කඳුළැලි විල් මැද්දෙන් -නුඹේ සුවඳ පහස පතා -සුසුම් හෙළමි අම්මේ



නෙත නොහඬන ඇසිල්ලකට- මං සොයාන සිනහ අතර-දිව රෑ නුඹෙ මතක අතර -වැළපෙමි මම අම්මේ
රැස් කරනා මේ පිං බල -ලක් මව් පොළවට දුන් ලෙය -ප්‍රාතිහාර පා මෙලොවට- නුඹ නොගෙනෙයි අම්මේ
මගෙ අසළම දැවටී නුඹෙ- ගුණය සිහිවෙනා හැට පැය -සිහිනෙන්වත් මේ පුතු ළඟ- නතර වෙයං අම්මේ
නුඹෙ මුදු ගුණ දයාව මැද -හැදුණ නුඹේ එකම පුතුට- ඔය රන් රුව නොලද පවට -හේතු දියන් අම්මේ





පසතුරු නද අතර තුරේ- මල් පාවඩ රටා මැදින්- හිත පාරන හීන් තුඩින්- දුක දැනුණද අම්මේ
ජාතියේම සැළකුම් මැද- නුඹේ සිඟිති පුතා නැතුව- ඔතරම් දුර යන්න බැහැයි -කිව්වෙ නැතිද අම්මේ
දොරගුළු දමනා විගසට- "අනේ මගේ පුතා ඒවි"- දිව්‍ය ලෝකෙ දොරකඩ නුඹ- වැලපුණාද අම්මේ
දැනගත් ඒ මොහොතේ මම- දුක සිහිසුන් වෙලා වැටුණ- මට වැටෙන්න අවසර නෑ- සමාවෙයන් අම්මේ

සඳවත මදක් නවතිනවද සිත් අහසේ...






 

නැවතුම් නොමැති ජීවිතයේ ඉසිඹුවක
නුඹ මුණ ගැසුණි කළුවර රෑ අහඹුවක
නුඹ සඳ මඩල මට සරසවි අසපුවෙක
පද වැල් බැඳිමි නුඹ එළි මට අනුහසෙක

ඟණඳුරු රැයට නුඹෙ සඳකත් සිසිළ දැනී
නොදුටුව නොවක් සිතුවිලි මා වෙතට වුණී
නෙතු ළග සිසිළ සැදුමුත් බිම සිඹින පිනී
කවි මැව් සඳුනි මිහිදුම් සළු දේවි ගිනී

බැසයන අවසරෙහි දුන් සිතුවිලි තියමින්
කවියක් බඳිමි නුඹ දුන් එළියට වඳිමින්
අද නුඹ බසින විට හෙට කළුවර රවමින්
බලනව මගෙ දිහා තව මිහිදුම් මවමින්

හැකිනම් සඳේ තව කල් නුබ නවතින්න
නුඹෙ එළි මැදින් කැමතියි ලොව දැකගන්න
නොලැබෙන සඳට යළි යළි පෙම් නොපුරන්න
හදවත දනී පසෙකට වී සැනසෙන්න

වීණා වයනු කෙලෙසක මම මූසිලව...

සිතුවිලි උපදිනා සැගවිය නොහැකි නිසා
මෙලෙසට හඩනවා ගුත්තිල තුමනි අසා
මම මූසිලද වැනසූ නුඹෙ සතර දිසා
හදවත හඩනවා පිට පිට පහර ගසා

වීණා නදට මත්වී නුඹ වැයුව එදා
බෝසේ පෙම් බැඳිමි ඒ දෙසවණින් බදා
බෑ මට සිඳින්නට නද පෑ තතක මෙදා
දෝතම බැඳන් ඉන්නම් මම් පසෙක නිදා

යන්නෙමි සුවඳ ගෙන සුපුරුදු උදෙන කරා
නුඹෙ නම දිලෙන්නයි බරණැස් නුවර පුරා
දිනෙකදි වැටී ඇති මේ ළිය මඩුළු ඉරා
වීණා වයන්නෙම් ගුත්තිල සුවඳ දරා

ගුත්තිල නුඹයි එය හොඳ හැටි අඳුනන්නේ
මූසිල මමද එය තව නැහැ වැටහෙන්නේ
සබයට එන්නෙ කොහොමද පය පැකිළෙන්නේ
වීණා තත'ර මූසිල යැ'යි රැව්දෙන්නේ

ගේනා සුවය නුඹ වෙණ නද මද නලව
පානා සිනහවකි මගෙ මනසක් නළව
නානා නාද අතරෙහි නුඹ ගුත්තිලව
වීණා කෙලෙස වයම්ද මම මූසිලව

වැහි දෙකයි ...














වාහනේ ඡායාව නොපෙනී යද්දිම මහ හයියෙන් වහින්න පටන් ගත්තා,කියාගන්න බැරිතරම් හීතලකින් මුළු ඇඟම කීරි ගැහිලා,නුග ගහ අස්සෙං වේගෙං වැහි බිංදු බේරෙනවා,දැං වැහි දෙකයි.සීතල වුණාට මොකෝ වැස්සෙත් වැරැද්දක් නෑ.මඩ වල නිසා වාහන වලිං මඩ පනී කියලා මං පාරේ අයිනටම වුණා පොඩි එකත් අරං.



එදත් මේ වගේ වැස්ස දවසක්,ගේ ඇතුළත් නුග ගහ වගේ,වෙනසක් නෑ "වැහි දෙකයි",මීට අවුරුදු දහ අටකට කළියෙං,මට අවුරුදු දහයක් වගේ ඇති.

මල්ලිව කකුළෙ තියාගෙන මං නළවන්න හැදුවා,දන්නෙ එකම නැළවිලි කවියක් නිසා ඒක විසි-තිස්  වතාවකට වඩා කිව්වා.



                                               මල්ලියෙ ඔහොම නොකරන් අපෙ  අම්මාට

                                              දෙතනේ   කිරි     දුන්නේ   අප   දෙදෙනාට

                                              තියන    දෙයක්   කැව්වෙත් අපි   දෙන්නාට

                                              බුදුන්     වඳින  ලෙස     වැඳපං      අම්මාට



කුස්සි කෑල්ල පැත්තෙන් එන සද්දෙයි,අකුණු සද්දෙයි නිසා මල්ලි නළෝගන්න අමාරුයි,කෑමොර තිය තියා අඬනවා.



"කන්නෙ මොනාද යෝදියේ,හම්බ කොරන්නෙ මං ඒවා තොගෙ උන්ට ගිල්ලපුවාම සනීපද තොට" බාප්පා අම්මට සැර වෙනවා මට යාන්තමට ඇහුණා.



මල්ලි පැත්තකිං තියලා මං ඒ පැත්තට කං දිහුවෙ බාප්පා අම්මට ගහවිදෝ කියන බයෙං.



"කෙල්ල පොඩි එකා නිදි කරනවා ,ඒකා ඇහැරේවී ඔහොම කෑගැහුවොත්,අදත් හම්බුණ තුට්ටුව මාලක්කගෙ කසිප්පු වාඩියට පූජා කරලා තව කෑ කොස්සං කරන්නෙ නැතිව මේක කාලා වැටිලා නිදාගන්නවා" අම්මා වැන්දෙ නැති ටික විතරයි.



සද්දෙ හැටියට බාප්පා බත් පිඟාන පොළේ ගැහුවා,මට හිතිං හපොයි කියවුණා,හීල්ලුණා.මටවත් මල්ලිටවත් නොදී අම්ම රෑ උයාපු මාළු වගයක් බාප්පට දෙන්න දුම් මැස්සෙ හංගනවා  මං දැක්කා,ඒ අම්මා බාප්පගෙ හැටි දන්න නිසා වෙන්න ඕන.දවාලෙ මාත් කන ගමන් මල්ලිට කැව්වෙ පොලුයි බතුයි,අම්ම ඒකට මාළු හොදි  ඩිංගක් දාන්න ඇහුවත් මං එපා කිව්වෙ මල්ලිගෙ කට දන හන්දා.



මං කුස්සියෙ පැළැල්ලෙං හෙමීට එබුණෙ ඇත්තට මොකද වුණේ බලන්න,බාප්පා බත් පිඟාන පොළේ ගහලා.පූසා මාළු කෑල්ල ඉව කරන්න හදද්දිම අම්ම ගහපු පාරත් කාගෙන"ඤාව්" කියාගෙන වැස්සෙම එළියට පැනලා දිව්වා.අම්ම මාළු කෑල්ලයි බත් ටිකයි උඩින් උඩින් එකතු කරනවා;බාප්ප ටිකකිං ආයිම කන්න හොයන නිසා.බාප්පා කුස්සියෙම වැටිලා මුකුත් නොවුණ ගානට අඩ නින්දෙ.අම්ම ඉතුරු බත් ටික දෙන්න පූසට කතා කළත් ඌ ආවේ නැත්තෙ වැදුණ පාර සැර වැඩිකමටමයි මයෙ හිතේ.



පිඟානේ කටු ටික අතට අරං අම්මා ඒ දිහාවෙම බලං ඉන්නවා,"අප්පච්චි කාපු පිඟාන".ලොකු හුස්මකින් පපුව පුරෝගත්තු අම්මා කටු ටික ලිප් බොක්කෙ අයිනකින් තිබ්බා. වීදුරු කට්ටකට යාන්තම් අම්මගෙ කකුළ කැපිලා,ලේ එනවා.ඒත් අම්මට ඒ ගැන වගක්වත් නෑ.අනේ මගෙ අම්මා,මං කියන්න දෙයක් නැතිව පැළැල්ල අස්සෙං අම්මා දිහාවම බලාන උන්නා.



"මල්ලි  නිදිද දුවේ" අම්මා මාව දැක්කා.



"ඔව් අම්මෙ" මං උත්තර දෙන ගමං බාප්පගෙ ඇඟ බේරගෙන අම්මා ළඟට ගියා.



අම්මගෙ ඇස්වල කඳුළු,හැබැයි හිනාවෙලා මයෙ ඔළුව අතගෑවා.



මං අම්මගෙ මූණ දිහා ටික වෙලාවක් බලං උන්නෙ ඉස්සර වගේ එළියක් පේන්න නැති නිසා.යාන්තමට සුදු වුණ කොණ්ඩෙ,බොර පැහැ වෙච්චි ඇස්,ඒත් අම්මා ලස්සනයි.



"වැස්ස අඩු වුණාම කඩේට ගොහිං උදේ කඩයප්පං හිලව්වට හාල් හුණ්ඩු දෙකක් අරං වරෙං දුවේ" අම්මා මල්ල දික් කරන ගමං කිව්වා.



අම්මා ආයෙත් හිනාවෙලා කොටල තිබ්බ පිටි ටික හලන්න ලෑස්ති වුණා.වැස්සත් අඩු වුණා.සොපිං කවරයක් ගත්ත අම්ම ඒක මගෙ ඔලුවෙ ගැටගහලා "දාංගල් නොකර හෙමිං කඩේට ගොහිං වරෙං දුවේ,මේ අකුණු ගහන අස්සෙ දං පඳුරු අස්සෙ එහෙම තැක් ගැහෙනවා එහෙම නෙමෙයි ඕං" හැමදාම වගේ කිව්වා.



මල්ලත් අරං මං දෙවට දිගේ කඩේ පැත්තට ගියා,වැස්සෙ සැරට ඉද්ද මල් ඔක්කොගෙම පෙති හැලිලා,වැස්ස නැවතුණාට මොකෝ තාමත් හුළං  ගස් පෙරලෙන තරම් හයියෙන්,සද්දෙත් එහෙමමයි.ඉස්සරහට වැටුණ පොල් අත්තෙන් අනූ නවයෙන් බේරුණේ,තව ඩිංගක් ඉස්සර වුණා නම් මයෙ ඔලු ගෙඩිය හතරට පැළෙනවා.මං උඩ බිම බලමිං පුළුවන් වේගෙං කඩේට ගියා.



මුදලාලි මාමා හොඳ මනුස්සයා,ඒත් ටිකක් අමුතුයි.අම්මා මට කියලා තිබ්බෙ කවදාවත් කඩේ බඩු අරං කයිය ගගහා ඉන්න එපා විජහට එන්න කියලා.



"මුදලාලී,අම්ම කිව්වා කඩයප්පං හිලව්වට හාල් හුණ්ඩු දෙකක් ගේන්න කියලා"මං කඩේට ගොඩ වෙන්නත් කළියෙං කියාගෙන ගියා.



"මොකෝ බං කෙල්ලෙ හදිස්සිය"



"වහීවී ආයෙත්" මං උත්තර බැන්දා.



"හා,හා..බොලාගෙ අම්මට කියහං දැනටම සති දෙකක් විතර ඉස්සරහට කඩයප්පං හිලව්වට බඩු අරං තියෙන්නෙය කියලා" ගොළු වෙච්ච මං ඔළුව වැණුවා විතරයි.



හාල් හුණ්ඩු දෙක මැනලා මල්ලට දැම්ම මුදලාලී "උඹට බුල්ටෝ එකක් දෙන්නද කෙල්ලේ හප හප යන්න" කියලා ඇහුවා,හා කියන්න කට ඇරුණත් අම්මාගේ උපදෙස් සිහිවුණ නිසා කරබාගෙනම එපා කියමින් මං කඩෙන් එළියට බැස්සා.



"අනේ අප්පච්චී උන්නානම් ,මට හැමදාම කඩෙං බුල්ටෝ අරං ඒවී හවහට"



කී සැරයක් මට එහෙම හිතිලා ඇද්ද? ඒත් ආයිම අප්පච්චී නො එන බව මං දැනං උන්නා.



අප්පච්චී වැඩ කළේ ටවුමෙ ඔෆීසියක,ඒ දවස්වල අම්මයි,මායි,තාත්තයි ගොඩක් සතුටිං උන්නෙ.ඒත් එක දවසක් ටවුමෙදි අප්පච්චී බස් එහෙකට හැප්පුණා,එතකොට අම්මට මල්ලි හම්බෙන්න.තාත්තා ඉස්පිරිතාලෙට ඇතුල් කරද්දිත් මැරිලා කියලලු කිව්වෙ.මට ඒ දවස්වල ඒක නොතේරුණත් ඉර බැහැං යද්දි අප්පච්චී නො එන කොට මහා පාළුවක් දුකක් දැනුණා.



ගමේ උදව්වට කියලා උන්නෙ බාප්පා විතරයි,ඒ දවස්වල බාප්පා හරි හොඳයි,මා එක්ක හවහට ඇවිත් සෙල්ලම් කළා,බුල්ටො ගෙනාව,අන්තිමට බාප්පා අපේ ගෙදරම නැවතුණා.

"ආවද දුවේ?,මැස්ස උඩිං තියහං ඕක" අම්මා ඉඳි ආප්ප තට්ටු පිහදනවා.



වෙනදා වගේ අම්මට උදව් වෙන්න හිතුණත් මං මුකුත් නොකියම මැස්ස උඩිං මල්ල තියලා මල්ලි ළඟිංම ගිහිං නිදාගත්තා,මුදලාලී කිව්ව ඒවා අම්මට කියන්න උවමණාවක් වුණේ නෑ,මොකද හැමදාම මුදලාලී ඔය ටික කියනවා.

ඊට දවස් දෙක තුනකට විතර පස්සෙ බාප්පා මල්ලී මායි එක්කං දළදා වඳින්න නුවර ආවා,ඒත් අම්මා එක්ක ආවේ නෑ,සල්ලි මදියි කියලා.මාවයි මල්ලිවයි ගහක් යට නවත්තලා බාප්පා කන්න දෙයක් ගේන්නයි කියලා පාර පැන්නා. බාප්පා දැං ඒවීය,දැං ඒවීය කියලා මල්ලිවත් කරපින්නං මං බලං උන්නත්, එදා කන්න ගේන්න ගිය බාප්පව මං මේ වෙනකම් ආයිම දැක්කෙනම් නෑ.



මල්ලිගෙ ඇඳුම් දෙක තුනක් ඔබාපු පං මල්ල විතරයි මයෙ ළඟ තිබ්බෙ,මල්ලි බඩගින්නෙ අඬද්දි මං නුවර මාළිගාව ළඟ දණින් වැටීගෙන යන එන අයගෙන් කන්න යමක් ඉල්ලුවා,කඩපිල් ගානේ නිදාගත්තා.ටික ටික ලොකු වෙද්දි, වෙච්ච දේවල්,වෙන දේවල් වැටහෙද්දි ලැබෙන සතේ සතේ හරි එකතු කරලා මල්ලිට දුන්නා කඩයක් දාගන්න.අනේ මගෙ පොඩි මල්ලි ඌ දවල් රෑ වෙහෙස,මාන්සිය නොබලා වැඩ කරලා කඩේ ලොකු කළා. අලුතිනුත් තව තව තැන්වල කඩ පටන් ගත්තත් එක්ක. දැං මල්ලි නුවර ලොකු තැනකින් පෙළවහකුත් කරගන්නයි ලේස්තිය.මට සතුටුයි. මේවා දකින්න අම්මත් හිටියනම්,ඒත් යන්න එන්න තරම් මතකයක් ගම ගැන මට නෑ.

"ආ මේ කුඩේ ගන්න" තෙමි තෙමි පොඩි එකත් තුරුල් කරං උන්නු මට කුඩයක් දික් කළා.

"මල්ලී"මට හිතිං කියවුණා.

"පොඩි එකා පොඩ්ඩක් ගනිං,මේ බෙඩ් ජැකට් එකයි රෙද්දයි හදාගන්න"මං මල්ලිට කිව්වා.

මුකුත් නොකියම පොඩි එකා අතට අරං මං චීත්තෙ හදාගන්නකම් මල්ලි බලං හිටියා.

"පුතේ මාමයෙ මූණ බලාගනිං"මං හිතිං හිතමිං කොල්ලව ආයිත් මගෙ අතට ගත්තා.කුඩේ දුන්න මල්ලි,පොඩි එකායෙ ඇඳුම අස්සට සල්ලි කොළ වගේකුත් ඔබලා කාර් එකෙන් වැස්සෙම නොපෙනී ගියා.

"පුතේ, උඹලයෙ මාමා මාව තියාගත්තොත්, උඹව දීපු උඹෙ අප්පච්චි මාමා එක්ක තරහා වේවී, එහෙම වුණොත් මාමයෙ මහන්සිය ඔක්කොම වැස්සට හේදිලා ගියා වගේ පුතේ.මාමගෙ කඩ කෙරිල්ලයි,කසාදෙයි ඔක්කෝටම මුල් තැන අරං කරන්නෙ උඹෙ තාත්තනෙ පුතේ ,නැත්තං උඹලගෙ මාමා මට මෙහෙම කරන්නෙ නෑ.මේ පුතේ, කුඩේකුත් දීලා යන්න ආයිත් ආවනෙ උඹෙ මාමා".



මං කුඩෙත් ඉහළං නුග ගහ යටිං වාඩි වුණා,පොඩි එකා අඬනවා."දන්න එකම කවිය උඹටත් කියන්නම් පුතේ"  නාඩා නිදාගනිං....



(ප:ලි:-මින් පෙර කිසිදු ආකාරයකින් කෙටි කතාවක් ලියා නැත්තෙමි,හදිස්සියේ උපන් සිතුවිලි පෙළක් මෙසේ අකුරු අතරට ගුනු කිරීමට සිතක් පහළ වුණි.මේ එහි ප්‍රතිඵලයයි,හැකිනම් රසවිඳ ගුණ දොස් කියන්නේ නම් මා හට කරන මහත් උපකාරයකි.)

ආත්තම්මා....


 

 



ඉස්සර මැටි බිත්ති අතර වරිච්චි ගැන ගැන
අත්තම්මා උන්න අයුරු මැවේ නෙතේ කොන
පෝය හතර සිල් නොගතත් උන්දැ කොරපු පින
ගෙනිහිං ඇති දිව්‍ය ලෝකෙ ඇති ඉහළම තැන

සඳට ඉරට පෙම් කරන්න කියාදුන්න අම්මා
නෑ දුටුවේ තවත් හිතක් පිරුණ නුඹේ පෙම්මා
වත්ත පහළ සැඟවුණ දා නුඹේ ගතිය සම්මා
දැනුණා මට බොහෝ සෙයින් අනේ ආත්තම්මා

හිස අත නුඹෙ වදින සෙයක් තාම දැනේ මට
පාළුයි ගම පුරාවටම නැතිව නුඹේ කට
හුළඟ පවා නුහුරු කමක් මට දැනෙනා කොට
ඉව කරනව ආත්තම්මෙ නුඹේ බුලත් විට

කොණ්ඩ කැවුම් හැඩ නැතිවා නැතිව නුඹේ අත
වත්තෙ ගහේ මල් නැතිවා පහන් පැළට තිත
ගේ මුල්ලේ වැසී ගොසින් පිරුවාණා පොත
ආත්තම්මෙ නුඹයි එකම දුටුව සිරිය කත

වෙල් මායිම් දෙණිය දිගේ හැරමිට ඇන ඇන
අත්තම්මා නොගිය තැනක් තියෙද සතර කොන
පං පැදුරක් ආනෙ ඉඳන් ඇගේ දිවිය ගැන
දෙස් තියනව හැමදාමත් අප අතරට පැන