Monday, April 8, 2013

____අඳුර ගෙනා එළිය____



දැන්නම් මල්ලිගේ සද්දය තවත් ඉවසිය නොහැක,විභාගයට ඇත්තේ ද තවත් මාස දෙකක් පමණි.වරින් වර ඇහැරෙමින් අඬමින් මටම වද දෙයි.විටක තරහක්ද ඇතිවේ.නමුත් මේ මගේ එකම මල්ලීය,මේ හුරතල් මුහුණ බලාගෙන තරහක් ගන්නේ කෙසේද.....

"පුතේ,මල්ලි අඬනවා නේද? අම්ම දැන්ම එන එකක් නෑ,නඩුව ඉවරවෙද්දි එකවත් වෙයි,අද තීන්දුවත් දෙනවය කිව්වනෙ." කම්බි දැල් අතරින් කෝච්චි පාරේ සිට අල්ලපු ගෙදර මේරී නැන්දා කීවාය.

"ඔව් නැන්දෙ තාම වෙලාව එකොළහ වුණා විතරයිනෙ" මම  සිනාවක් නගන්නට වෙර දැරීමි.

"කාලද පුතේ?,උඹ පාඩම් කරනවනෙ මල්ලි මට ගෙනත් දියං,අම්ම එනකං මං ඌව එළෝළු ලෑල්ලෙං තියාගන්නං"

"අම්මා උදේ සම්බෝලයක් හදල බතුත් උයල ගියෙ නැන්දෙ,ඒත් මල්ලිට කවාගන්න බැරිවුණා"

එලෙස කියමින්ම මම ගොස් මේරී නැන්දා අතට මල්ලිව දුන්නෙමි.ඇය මා අත කුඩා පාර්සලයක් තැබුවේ "පිට්ටු කෑල්ලක්!කාලම පාඩං කරපං,උඹ මහත්තයෙක් වුණාම අපිටමනෙ ආඩම්බර " කියමිනි.කහට පැහැ දත් විහිදා සුපුරුදු කරුණාබර සිනාව පෑ මේරි නැන්දා මල්ලිවත් හුරතල් කරමින් කෝච්චි පාර දිගේ එළෝළු ලෑල්ල වෙතට පිය මැන්නාය.

මල්ලිට අවුරුද්දක් සපිරුණා පමණි,මේරී නැන්දා නිතරම මට පාඩම් කරන්නට කියා මල්ලීව රැගෙන ගොස් එළෝළු ලෑල්ලේ තියාගන්නීය.මල්ලී ද ඊට කිසිදු අමනාපයක් නොදක්වන්නේ මේරී නැන්දා ඇතිතරම් කෑම බීම දෙමින් දවස පුරාම හුරතල් කරන නිසාවෙනි.මේරී නැන්දා තරමක් රළු ගති ඇත්තියක් බව ඇය සමග ගණුදෙනු කරන බොහෝ දෙනා පවසති,මම ද කිහිපවරක්ම ඇය කෝච්චි පාරේ මුදල් පල හිලව් වලට කෑ ගසනු දැක ඇත්තෙමි.ඇයට තරමක් හොඳ ගෙයක්ද ඇත.මේරී නැන්දා කොළඹ ඇති හැකි පවුලක අයෙක් බවත්, ගුණපාල මාමා සමග තරුණ කාලයේදී පැන ආ බවත් අම්මා පැවසුවා මට මතකය.දැන් ගුණපාල මාමා මියගොස් අවුරුදු පහක් පමණ ගෙවී ගොස්ය,බීමත් කමට පින් සිදු වෙන්නට ගුණපාල මාමා බොහෝදුක් විඳ මිය ගියේය.ඔහු ජීවත්ව සිටින කාලයේ මේරි නැන්දාට කරදර වලින් අඩුවක් නුවූ බව අපේ පාරේ සැවොම දනිති.

"කොල්ලො! කෝ ආවෙ නැද්ද උඹලගෙ අම්ම,ඒ දවස්වල අපි කිව්ව ඒවා ඇහුවනම් ඔහොම උසාවි ගානේ බඩගාන්න වෙන්නෙ නෑනේ බං,මේරි නේද මල්ලිව කරපින්නං යන්නෙ අර,ඒකිත් අනුන්ගෙ දරුවන්ට උප්පැන්න දෙන්න යනව,මොනා කරන්නද වඳ ගස්.....!" ඒ බෙලෙක් හඬට මාව විසි වුණි,හඬින් සහ වචන වලින්ම තැනැත්තිය හඳුනාගතිමි.

"මං යනව චූටැන්ටි ගෙට" තවත් යමක් ඈට කියන්නට ඉඩ නොතියා මම ගෙතුළට වැදුණෙමි.

"පළයං,පළයං...ගිහිං පොත බදාගෙනම හිටපං,උඹ ඉතිං ඉර හඳ අල්ලන්නනෙ ලෑස්තිය..."
ඇයට ඊට වඩා යමක් කීමට ඉඩ නොලැබුණේ සෝමේ මාමා කඩේ සිටම "පලයං චූටි යන දිහාවක ඔය කොල්ලට පාඩුවෙ වැඩක් කරගන්න දීලා" කියා බැණ වැදුණු හෙයිනි.

මගෙත් වෙලාව හොඳය.නැතිනම් ඇය තව බොහෝ දේ කියා මිස මෙතැනින් නොයනු ඇත.සෝමේ මාමාට කිසිවක් කිව නොහැකි නිසා චූටැන්ටි හිතින් මොනාදෝ මුමුණමින් රේල් පාරෙන් පැන අතුරු පාරක් ඔස්සේ යනයුරු මා බලා සිටියෙමි."කුඩු සල්ලි එකතු කරන්න වෙන්නැති ඔය යන්නෙ,මුං ගෑණු ද නැත්තං සත්තු ද ඇත්තට,කාළකණ්ණි හැත්ත" සෝමෙ මාමා කඩේට ආ අයෙක්ට කියනු යාන්තමට මට ඇසිණි.

පිට්ටු කෑලී දෙක පිඟානකට දමා සීනී බෙලෙක්කය ලී මැස්සෙං ගද්දීම අනෙක් පසිං යමක් බිම වැටී බිඳිණි.

"මැස්සෙ තිබ්බ බල්බ් එක,මේක හින්දනෙ මේ ඔක්කොම කරදර,බිඳුණ එකමයි එකමයි හොඳ,අම්මත් පිච්චුණ මගුල ආයිත් මොකට අරං තිබ්බද මන්ද." ඇස් කඳුළින් පිරී ගොස්ය,දිගටම බල්බයට හිතින් නොව වචනයෙන්ම බැන වැදුණෙමි.


තාත්තා මිය ගියේ,මල්ලීට නොමැකෙන කැළලක් කකුළ පුරා ඉතිරි වූයේ,අම්මා මාස පහක් තිස්සේ උසාවි බඩගාන්නේ,මගේ පොත්,ඇඳුම් ගිනි ගත්තේ,රෑට කිරි හොදි උයා උදේට පොල්කුඩු සම්බෝල හදන්නට සිදුවී ඇත්තේ,මේ සියල්ල මේ බල්බය නිසාය.පෙළින් පෙළට එකින් එකට සිදුවීම් සිහියට නැගේ.පිට්ටු පිඟාන තවත් පිඟානකින් වසා මල්ලි නිදි කෙරූ කාඩ්බෝඩ් කෑල්ල මත දිගා වුණෙමි.


ඒ දවස්වල රෑට පාඩම් කිරීමට කුප්පි ලාම්පු එළිය මදි යැ'යි මම නිතර තාත්තාට මැසිවිලි නැගුවෙමි.ජීවිතේ මා කළ අනුවණම ක්රියාව එයයි,එක් අතකට බල්බයට නොව මා බැනිය යුත්තේ මටම නොවෙද?

දිනක් තාත්තා වයර්,කම්බි ගොඩක් නගර සභාවේ ඉවතලන ඒවායි කියා ගෙදර ගෙනවිත් රෑ පුරාම  මොනවදෝ දවස් දෙකක් පුරා කළේය.ඊලඟ රාත්රියේ මගේ මැසිවිල්ලට පිළිතුරු ලැබිණි.තාත්තා නගර සභා ට්රැක්ටරයේ කුණු එකතුකර අවසානයේ රාත්රි 7ට පමණ ගෙදරට පැමිණ අසළ පොල් ගසකට නැග විදුලි වයර් වල කම්බි දෙකක් ඇමිණූ සැණින් අපේ කුඩා ලී කාමරයම එළිය විය,මගේ මුළු හිතම සතුටින් පිරී ගිය අයුරු තාමත් මතකය,ඒ එළිය මේ තරම් අඳුරක් ගෙනේවියැ'යි මගෙ පුංචි මෝඩ හිතට ඒ වෙලාවේ මදක්වත් දැනුණේ නම් නැත.


"සිරි ඔයා හෙටම ඔය කම්බි ගලෝලා දාන්න ඕන,අපිට ඕන නෑ ඕවා,පුළුවන් කාලෙක හරියට ගෙයක් අටෝලා ගමු,මොකක් හරි වෙලා පොඩි ගින්නක් ගත්තත් මේ පරඬැල් ගේ අළුවෙයි සිරි" එදිනට අම්මා තාත්තාට කියූ දේ මට දැන් හොඳින් වැටහේ,ඒත් තාත්තාට එදා එය වැටහුණා නම්...........

"බයවෙන්න එපා කමලො මුකුත් වෙන්නෙ නෑ,මං මේවා ගැන නොදන්නව ඇයි,අනික මේ රේල් පාර දිගටම කරන්ට් අරං තියෙන්නෙ ඔහොමයි" තාත්තාගේ පිළිතුර එය විය.අම්මා දිගින් දිගටම කියූවද තාත්තා එය මායිම් නොකළේ මා නිසාවෙන්මයි මට බොහෝවිට සිතේ.

හදිස්සියේ ලත් එළිය සතියක් යාමටත් පෙර අපිට එළිය වූ තාත්තාවත් රැගෙන අඳුරටම ගිය දිනය කෙසේ නම් අමතක කරන්නද?

එදා ඉරිදාවක්...අම්මා ද මා ද ගෙදරට බඩු ගෙන ඒමට පිටකොටු ගියෙමු.අපි එනවිට ගෙපැළ අළුවී ගොසිණි.මට එකවරම කිසිවක් සිහියට නගා ගත නොහැකි වුයෙන්,"අනේ අම්මේ!"යන්නට එහායින් කිසිවක් මගේ මුවින් පිට නොවුණි.තාත්තාට විදුලි සැර වැදී පොල් ගසෙන් වැටුණු බවත්,එවිටම ගේ ගිනිගත් බවත්,තනිවම ගෙතුළ සිටි මගේ පුංචි මල්ලී ගින්නට හසුවී සිටියදී බේරාගත්තේ සෝමේ මාමා බවත්,ඔහුත් තව කීප දෙනෙකුත් තාත්තාත් මල්ලීත් රැගෙන මහ රෝහලට ගිය බවත් කන වැකුණු සැණින් අම්මා වැලහින්නක් සේ හඬමින් පිස්සුවෙන් වගේ රෝහලට ගිය අයුරු මට දැනුඳු මැවී පෙනේ.

තාත්තා රෝහලට යන විටත් මිය ගොස් තිබූ බව සෝමේ මාමා කියයි.මල්ලීට සති දෙකකට වඩා රෝහලේ සිටීමට සිදුවිය.පාරේ ඈයෝ බොහෝ උදව් කළා සේම,ඇනුම් පද කී අයද නැතිවා නොවේ.අම්මා අපමණ දුකක් ඒ දිනවලත් දැනුත් විඳී.නගර සභාවේ වැඩ කරන අතර තුර බුලත් විට සදමින්,කවර ගසමින් ඈ දිවා රෑ වෙහෙසේ.

"මොකද පුතේ?ඔහොමද මගෙ පුතා පාඩම් කරන්නෙ." අම්මා ගෙට ගොඩ වෙනකම්ම මට නොදැනුණ හැටි...

"නෑ අම්මේ,මේ දැං ඇලවුණේ නිකමට,අම්මට පිට්ටු කෑල්ලක් දෙන්නම්,මේරි නැන්දා දුන්නෙ,මාත් කෑවා" අම්මා කිසිවක් නොකියා සිනාවක් පෑවාය.නමුත් මුහුණ අඳුරුය,මම පිට්ටු කෑලී දෙක ගෙනවිත් අම්මා අත තැබුවෙමි.

"මට දෙකක් වැඩී පුතේ,පුතා තව එකක් කන්න"කියමින් අම්මා තවත් පිඟානක් ගෙනවිත් එක් පිට්ටු කෑල්ලක් නැවත මටම දුන්නාය.

කන අතර තුර මම අම්මා දෙස බලා සිටියෙමි.පපුව මලානිකව ගැහෙයි,වරින් වර පිටි අල්ලෙන් කිහිපවරක්ම අම්මා නළලෙහි වූ දාඩිය පිස දැම්මාය.වරක් මා දෙසද බලා "කෝ ඉතිං ඔහොමද කන්නෙ අවුරුදු 15ක් 16ක් වුණ ළමයි" කියා සිනාසුණාය.පිඟාන සේදූ අම්මා "මේරී නැන්දගෙන් මල්ලිව අරං එන්නම් පුතේ,පව් උන්දටත් වැඩනෙ" කියා ගෙයින් එළියට බසිද්දීම මේරී නැන්දා ගෙයි දොරකඩය.

"මං මේ කොල්ලව ගන්න එන්නයි කියල හැදුවෙ අක්කෙ" අම්මා මේරී නැන්දාගෙන් මල්ලීව ගන්නා ගමන් පැවසුවාය.

"කොල්ලනං දවසම මං ගාව උන්නත් මොකෝ බං,මං මේ ආවේ නඩුවට මොකෝ වුණේ අහන්න" මේරී නැන්දාගේ මුහුණ පුරා විමසිලිමත් බවක් පැතිරි තිබිණි.

සුපුරුදු සද්දය පතුරමින් කොටුව සිට මහරගම යන සවස 2 දුම්රිය ඈතින් එන හඬ ඇසේ.අම්මාත් මේරී නැන්දාත් රේල් පාරෙන් ඉවත් විණි.අම්මා දිගු හුස්මකින් ලය පුරවාගන සිටියාය.

"හූල්ලන්නේ නැතිව කියහං නංගියෙ මොකෝ වුණේ කියලා" මේරී නැන්දාගේ ස්වරය තරමක් දැඩි විය.අම්මාගේ ඇස්වල කඳුළු පිරී ඉතිරී කම්මුල් ඔස්සේ පහළට ගලා එයි,මල්ලී අම්මාගේ කොණ්ඩය අදමින් හුරතල් වෙයි.

"මොනව වෙන්නද අක්කේ,ගහෙං වැටුණ එකාට ගොනා ඇන්න වගේ වැඩක්" අම්මා හැඳ සිටි සුදු සාරි පොටෙන් කඳුළු පිස දැම්මාය.

"වහෙං ඔරෝ නැතිව වෙච්ච දේ කියල හිටපංකො නංගියෙ"

"නඩු ඇහුවෙ අනවසර විදුලිය ගැනිල්ලට තීන්දුව දුන්නෙ......අනවසර ඉදි කිරීමක් ඒකෙන් ඉවත් වෙන්න ඕන කියලා,දඩේකුත් ගෙවන්නයි කිව්වෙ"

"ඒ කියන්නේ උඹලට මෙහෙං යන්න කිව්වද?" මේරී නැන්දාගේ ප්‍රශ්නයට අම්මා නිරුත්තරය.මහරගම දුම්රියේ මහා ඝෝෂාව තවත් ළංවී ඇසෙයි,පැල්පත් දෙදරවාගෙන දුම්රිය පීළි ඔස්සේ ඉදිරියටම ඇදී යයි.

තාත්තාට බල කරමින් මා රාත්‍රියට සෙවූ ආලෝකය මෙයද?මෙතරම් අඳුරක් මට,අම්මාට,මෙලෝ හසරක් නොදත් මගේ පුංචි මල්ලීට දරාගත හැකිද? මම මට නගන ප්‍රශ්නයට මාද නිරුත්තරය,කෝච්චියේ ගමන නිසා වේගවත් වූ හුළං ගෙතුළට කඩා වැදී දිග හැර තිබූ පොතේ පිටු වෙගයෙන් පෙරලෙයි,තවත් වරක් අම්මා දෙස බැලීමි,ඈ මල්ලීව තදින් තුරුලු කරගෙන හිස් වී යන රේල් පාර දෙසම නෙත් යොමාගෙන සිටී,පසෙක මේරී නැන්දාද අම්මා අස්වසන්නට වචන සොයයි.....


Monday, April 1, 2013

___පහුවුණ මතකය___


ගමට අඩිය තිබ්බෙ එදා වගේම නිකළැල් හුළං පොදක සුවය බලාපොරොත්තුවෙන්,කාලය කෙතරම් නම් වේගවත්ද.මා ඉංජිනේරුවෙකු ලෙස එක්සත් අරාබියේ සේවයට ගියේ මීට වසර පහකට පමණ පෙරාතුවය.මා යන විට ගමේ වෙල් එළි දෙණිය පාළු වෙතැයි බොහෝ දෙනා කීවේ නිතර ඉගෙනගන්නා කාලයේ පවා මා කැළේ කොළේටම ඇළලී සිටි බැවිනි.නිවසට විත් පැයක් පමණ සෝෆාවේ ඇළවී සිටියේ මෙතෙක් බලාපොරොත්තුවෙන් පැමිණි විවේකයට ආරම්භයක් ලෙසිනි.

"පුතා නාගෙන ඇවිත් කාලා හිටියනම් හොඳා නේද?" කුස්සියේ සිට අම්මාගේ සුපුරුදු ආදරණීයම ස්වරය කජු මාලුවේ සුවඳත් සමග ආලින්දයට ගොඩ වැදිනි.

"අම්මා ,ඔයා කජු උයනව නේද?පුහුලනුත් ඇති නේද ගහේ" මං සෝෆාවෙන් නැගිට සිටියේ වත්ත කෙළවරට පිය මැනීමට සැරසෙමිනි.

"මොන පුහුලන්ද පුතේ,මේ පුතා එන හන්ද අප්පච්චි තකහනියක් ගම වටේම ගොහිං කජු එක්කාසු කරං ආවේ"

"ඇයි?අපේ ගහ" මට එක වරම කියැවුණි.

"ලොකූගෙ ගෙපැළ හදන්න ගහ කැපුවනෙ පුතේ"

අනේ කජු ගහ! මට කෙතරම් පුහුලන් අවුරුද්දක් පාසා දී ඇත් ද,එතකොට මැලියං;ඒ දවස්වල ඉස්කෝල පොතේ රූප ඇලෙව්වේ කජු ගහ දුන් මැලියම් වලිනි.සෑම අවුරුද්දකම මහා ඔංචිල්ලාව බැන්දේ ද මේ කජු ගහේමය,වරක් ඔංචිල්ලාවෙන් වැටී මගේ අතද කැඩිණි.මම කුස්සියට පිවිස පිටුපස දොරෙන් කජු ගහ තිබූ තැන සෙවූයෙමි,කජු මුල පමණක් ඉතිරිය,එයින් නැවත අතු දමා තිබේ.

"මොනාද පුතේ බලන්නෙ?" තවමත් කජු මාලුව හැඳිගාන අම්මා විමසුවාය.

"අම්මෙ ලොකූගෙ ගෙපැළට ගහ කැපුවෙ නැතත් ඉඩ තියනවනෙ,ගහේ මුල තියෙද්දිම ගෙපැළ කපල තියෙන්නෙ හොඳට"හිතේ ඉපදුණ වේදනාවෙන් යුතුව අම්මාගෙන් ඇසීමී.

"ඕක දැන් කපාල ඉවරනෙ පුතේ,ආයිත් මොකටද ඕකේ වගක්"අම්මා කීවේ එපමණකි. කජු ගහ කැපීම පිළිබඳ අම්මාගේ ද කැමැත්තක් නොමැති බව ඇගේ නිහැඬියාවෙන් වටහාගත් නිසාවෙන් ඉන් ඉදිරියට කිසිවක් නොකීවෙමි.කෙසේ වෙතත් අත්ත මුත්ත කාලයේ සිට කජු ගස වත්තේ තිබුණ බව අප්පච්චී ඉස්සර ආඩම්බරයෙන් කීව මතකය....,මගේ සවණතෙහි වැදී දෝංකාර දෙන මතකය......සුසුමක් සමග වා තලයට මුසු කළෙමි.

"කෝ අම්මෙ ලොකූ ල,මං හිතුව මං එද්දි ගෙදර ඉඳීවිය කියල"

"අවුරුද්දට පුතාලගෙ ගමේ ගියා,සමහරවිට හෙට දිහා විතර ඒවී මයෙ හිතේ,පුතාටත් අවුරුදු දවස් වල එන්න තිබ්බනම් කොච්චර හොඳද" අප්පච්චී සහ අම්මා දරුවන් ලැබූ පසු තනිව ගත කළ එකම අවුරුද්ද මේ විය හැක.සැබැවින්ම ඔවුන් එය සැමරූ බවක් පෙනෙන්නට නැත.මාගේ පැමිණීමම ඔවුනට අවුරුද්ද වී ඇති බව හොඳින්ම වැටහේ.අම්මා නිසොල්මනේ කජු මාලුව දෙසටම සම වැදී සිටින බවක් පෙනේ.

ලොකූ මට සිටි එකම සහෝදරියයි,ඇය විවාහ වූයේ මාතරිනි,මස්සිනා රැකියාව කළේ කටුනායක ගාමන්ට් ෆැක්ටරියක කළමණාකාරවරයෙකු ලෙසය.මස්සිනාගේ රැකියාවට පහසු නිසාවෙන් විවාහයෙන් පසු මස්සිනා අප නිවසේම නැවතිණි.එය මාගේ හිතටද සහනයක් වූයේ අම්මා,අප්පච්චී අසළින් අක්කාට සිටීමට හැකිවේ යැ'යි සිතූ නිසාවෙනි.

"ගල් ගැහිලා වගේ වත්ත පහළම බලං ඉන්නෙ මගෙ පුතේ,නාලා හිටින්කො"අම්මා නැවතත් මා පියවි ලොවට ගෙනාවාය.

"අම්මෙ මං පින් ළිඳට යන්නම්,කෝ පනිට්ටුවයි සබන් එහෙම දෙන්නකො"

"ඒක හොඳද මගෙ පුතේ,ගෙදර වතුර මලෙන් නෑවනම් හොඳානෙ,පුතාමනෙ ඕවා පහසුවට කියල හැදෙව්වෙ"

අම්මා එසේ කීමට හේතුව මං දනිමි,නමුත් පින් ළිඳෙන් නෑමට තිබූ ආසාව නිසාම අම්මා දුන් පනිට්ටුවද රැගෙන වත්ත ඔස්සේ පින් ළිඳ දෙසට ඇදුණෙමි,කිසිවෙකුත් ළිඳ අසල නොවීය.වතුර නිල් කැඩපතක් සේ මා දෙස බලා සිටී.වසර පහකට පසුත් ඒ සිසිල් ජල කඳ පෙර සේම මා දෙස බලා හිඳී.කියන්නට බොහෝ දේ ඇතිවා සේ බලා හිඳී.

පනිට්ටුව රැගෙන ළින් පඩියට පය තබත්ම,"පොඩ්ඩක් වෙළට බැහැලම නාමුකො"යැ'‍යි හදවත ආයාචනා කරන්නට විය.ඉදින් එයට සවන් නොයොමා සිටීම කළ නොහැක්කකි.






පින් ළිඳ හා වෙළ අතර තරමක් පළල ඇල පාරකි,එය හරහා පෙර තිබූ ඒ දණ්ඩ වෙනුවට දැන් තරමක් පළල කොන්ක්‍රීට් පුවරුවක් යොදා ඇත.මා එයට නැග වෙළට ගොඩ වුණෙමි.නියර දිගේ සුපුරුදු වේගයෙන් වෙළ මැද වූ කිරි වල (වතුර පිරුණ පොකුණක් වැනි තරමක් විශාල තටාකය ගමේ කවුරුත් හැඳින්වූයේ ඒ නමිනි)දෙසට පිය මැන්නෙමි.නියර එදා මෙන් එක මට්ටමක නැත,කුඹුරු පුරන්ය.කහ පැහැති දම් පැහැති නිල් පැහැති කුඩා තණ මල් ද,කොක් මොට ද කළු හා සුදු පැහැයෙන් වෙල් එළිය පුරා වැවී තිබිණ.ඈතින් කෙත්වත් කිහිපයක පමණක් ගොයම් කපා තිබෙන බව හැඟවෙන ඉපණැලි ඉතිරිය.නමුත් ඒවාගේ එල්ලේ ගසන කොල්ලෝ කුරුට්ටෝ නම් එකෙක්වත් නැත.

අමුතු ස්වරයක් නගමින් සුළඟ ඇඟේ හැපී යයි,ඇඳ සිටි කමිසය ගලවා අතට ගත්තේ නිදහසේ මේ ඇල් හුළඟ විඳීමට ලැබෙන්නේ තවත් අවුරුදු කීපයකට පසුව බව දත් නිසාවෙනි.වෙළ මැදින් ගලා යන ඇළ පහරින් එහා පසට පැන කිරි වල අසල නැවතුණෙමි.දැන්නම් එය මඩ වලකි,වෙනදා පැවතී මානෙල් මල් තබා කොළයක් වත් එහි සොයා ගන්නට නැත.එදා රන් පුලින තලා මතින් ගලා ගිය සුදු පැහැ ජලය පිරි ඇළ පාර අද සම්පූර්ණයෙන් රන් පැහැ වී ඇත,මතු පිට තෙල් තට්ටුවකි,එයට බැසීමට පවා ඇතිවූයේ මහත් අප්‍රිය සහගත බවකි.පුංචි දවස්වල ලොකූ සමග පින් ළිඳට ආ විට දෙදෙනා එක්ව ඇතිවන තෙක් මැද ඇළේ නෑවෙමු,වතුර නැතත් පීනුවෙමු,දියබුං ගැසුවෙමි.තිත්ත්තයෝ,දණඩියෝ ඇල්ලුවෙමු,වරෙක කූඩැල්ලන් එල්ලුණු විට කෑ ගසමින් වෙල පුරා දිව්වෙමු.අමතක නොවන දේ නම් ලොකූ ගෙයි සිටියේත් මෙලෙසම පින් ළිඳට ආ දවසකය.එදා සිදු වූ දේ දැන් වැටහේ.වෙලෙහි වැටී තිබූ කණකොක් පිහාටුවක් අහුලා ගත් මම දං පඳුරු හා,බෝවිටි,පළුකං,හිඹුටු සහ ගොඩපර ගස් පිරි වෙලෙහි අනෙක් පසට පිය මැන්නෙමි.මගේ මතක හා ගොඩපර ගස්ම පමණක් එහි ඉතිරිව ඇත,අනෙක් කිසිවක් දක්නට නැත,පහළට එල්ලී රතු,කොළ,කහ පැහැයෙන් දිලෙන ගොඩපර වලින් කහ පැහැ ගෙඩි කීපයක්ම කඩා ගතිමි.අතට ගත් ගොඩපර එකින් එක කන අතරතුර නැවතත් පින් ළිඳ දෙසට ඇදුණෙමි.

වෙලේ ඇල් හුළං මා වටා එතී තවත් මෙහි නවතින්නැයි ආයාචනාවකය,සුළඟට මා හා තවත් බොහෝ දේ කීමට ඇති සෙයකි,නමුත් ඒවා අසා සිටින්නට තරම් දැන් මා නිදහස් නැත.කාලය ඒ තරම් ජීවිතය ගිලගෙනය.....