Sunday, February 9, 2014

අම්ම කිව්වේ එහෙම___



කැටි ගැහුණ කිරි හොද්ද අනා මං කැව්වාට
දන්නවා මල්ලියේ කන්න බැහැ කෑවාට
හරි සැරට අප්පච්චි "සැර මදි"යි කිව්වාට
මට සතුටු කොහොම හරි උඹේ බඩ පිරුණාට

ඉරී ගිය චීත්තය මමත් ඇඳ උන්නාට
මුකුළු කර දෙකම්මුළ තද කරං ඉම්බාට
ළඟ තියං ඉස් මුදුන රෑත් අත ගෑවාට
හීනෙනුත් අඬ ගැහුවෙ උඹ අපේ අම්මාට

ඉඳ හිටක අකුණකට,රැයට බය හිතුණාම
"පොඩි එකී නොවි හිටිං" අප්පච්චි කියුවාම
පොඩි උඹව තුරුළු කර ඇස් දෙකම වැහුවාම
අම්ම ඉන්නව වගෙයි,උණුහුමයි මට තාම

මල්ලියේ අර අතන පේන අර කඳු මුඳුන
එයින් එපිටට විහිද හිනාවෙන තරු මුහුණ
අම්ම කිව්වේ එහෙම! ඉන්න බව ඇය එතැන!
මගෙ පුරුදු නැළවිල්ල කියා ඇසෙනා ලෙසින..

Tuesday, January 21, 2014

මඟ හැරී යාම___




කාලය,සුළඟ සේමය,අතැඟිලි අතරින් සියුම් ස්පර්ශ තබා ගලා යන්නේමැ'යි.නහරවැල් ඔස්සේ මතක පමණක්ම හදවතට දිවෙයි,තැන්පත් වෙයි.සිතුවිලි,මිනිසුන්,සිහින කාලය සමඟින්ම ගලා යයි,අවැසි වුවත් නවත්වා ගැනීමට නොහැකි තරම්ම වේගවත් ලෙස ගලායයි.බිඳීමටත්,විසිරීමටත් ඔරොත්තු දීමට තරම් සවියක් නිපදවා ගත හැකියි නම් මේ ගලා යාම එතරම් අපහසු නොවනු ඇති.

නමුත් ඒ තරම්ම සිත දැඩි කරගැනීමට තවත් කාලය අවැසිය,කාලයේ වැදී සිත තවත් තලා ගත යුතුය,තැලෙන්නට තැනක් ඉතිරි නොවන තෙක් තලා ගත යුතුය.එසේ කිරීමෙන් තවත් තැලීම් නොදැනෙණු ඇත්ද?යමෙක් දුක් වෙයි නම් ඔහු සතුට ලැබූ කෙනෙක්ය,සතුට දන්නා නිසාවෙන් ඔහු දුක්වෙයි,සතුට නොහැඳින සිටියානම් අගේ යැ'යි මට විටක හැඟෙන්නේ එබැවිනි.නමුත් එය එසේ සිදු වීමට තරම් අවකාශයක් නොමැත.එනිසාවෙන්ම කෙතරම් තැලුණද ඊළඟ තැලීමේදී පවා හලන්නට අලුත් කඳුළක් අපට ඇත.වෙනස් වන්නේ කඳුළ ඒමට සහ පිටවීමට ගතවන ''කාලය''ම පමණි.

කාලයත් සමඟ සසඳන විට තනි අතකට සමහර දේ බොහෝ සෙයින් බරින් වැඩිය,එවන් වූ දේ අත්හැර ඉදිරියට ගමන් කිරීමටත් සිනාසීමටත් අප පුරුදු විය යුතුය,තැනක සිට බලන විට ජීවිතය යනු කාලය තුළ අවස්ථානෝචිත අත්හැරීමත් රඳවා ගත් දෙය රැක ගැනීමත්ය.එක් දෙයක් අත හැරුණු පසු නැවත හමු නොවනු ඇත,එසේම අතැති දෙය වැටුණහොත් එය ද අහුළා ගැනීමට හැකියාවක් වෙත්දැ'යි කාට නම් කිව හැකි ද?

කාලය සුළඟ සේමය,කාලයෙන් ජීවිතයේ හිස්තැන් පිරවෙන්නේත් පුරවාගත හැකි වන්නේත් එබැවිනි.එසේම ගෙවී යන කාලය තුළ අහිමි වන දෑ වෙනුවෙන් තවත් බොහෝ දේ ඉදිරියෙහි නිමැවී ඇත,කාලය පවතිනා තෙක් මම එය තරයේම විශ්වාස කරමි,ඉතින් විශ්වාසය ඇති තෙක් සිනාසෙමි...

Wednesday, January 15, 2014

නික්මන___





සිහින් තුඩු මිරිවැඩියෙ සළකුණ
මැකූවත් නොමැකිලා බේරෙන
ලිහිල් හද පතුළටම නික්මුණ
මතකයකි මතකයෙහි සඟවන

ළදල්ලක් රත් නියෙන් පෑරුණු
තවම සනසමි සිතින් නොදැමුණු
පුදුමයකි නුඹ ඇසෙහි නොගැටුණු
ඇහැළ මල් මඟ දිගෙහි විසිරුණු

තණ පතක තනි වෙච්ච පිනි කැට
සක්මනෙන් බිම පතිත වන විට
තවරමින් නිරුවත් පතුල් යට
සිසිල් වී නුඹ ගියා ඉවතට

විහඟ ගීතය පවා ඇත්තට
කරදරද සවණෙහි දෙපැත්තට
වසා උන් මුව,ගිවිස ගත්තට
මැලියි දැන් සුළඟත් හමන්නට

රෝස කටු තුඩු ඉකි බිඳුම් මැද
රෝස මල් බිම වැටී පෙති සිඳ
පාට සුළඟෙහි විසිර යන සඳ
නික්මුණිද නුඹ උයන් සිරි විඳ....


Saturday, December 28, 2013

පත් සිදුණු තුරු හිසක් මත හිඳ ජීවිතේ හිනැහෙන අපූරුව___



පත් එක දෙකක් නෙවෙයි ළා දළු පවා උපන් ගෙයිම හැලෙනකම් මං බලාගෙන හිටියා,දිය බිදක් නුදුන් අහසටවත්,හුස්ම පවා ඈතට අරන් යන සුලගටවත්,අනේ එපා කියද්දී ඉරි තලන පොලවටවත් දොසක් නොදී මං බලාගෙන හිටියා."දුයිෂෙන් අල්තිනායිට කිව්ව ශීත කාලයෙන් පස්සේ එන වසන්තය",ඒ වසන්තය එනකම් මං බලාගෙන හිටියා,අල්තිනායිටත් ඒ වසන්තය නාපු කොට මට කොහෙන් එන්නද කියලා එක අතකට හිතෙනවා.මට හිනාවෙන්න ඕන නෑ,අඩන්නේ නැතුව ඉන්න තරම් හිතේ පිරුණ හයිය ඒ විදියටම තිබ්බොත් ඇති,නොවසින වැසි වලින් ඒ හයිය දිය වෙලා යනකම් බලන් ඉන්න මට පුළුවන්කමක් නෑ,ඒත් මට බයත් ඒ ගැනමයි.


ජීවිතේ මෙන්න මේකයි,මේ විදියයි කියන්න තරම් දුරක් මම තවමත් ඇවිත් නැහැ,අවු,20ක කාලයක් ඇතුළේ ඒ විදියේ නිර්වචනයක් දෙන්න මම අපොහොසත් කියලා දැනෙන හැගීමට මම ගොඩක් කැමතියි,මෙතෙක් ආපූ කරදර හිරිහැර ඒ තරම් විශාල නැති බවට සැහැල්ලුවක් ඉගියක් ඒ ඇතුළේ තියනවා,ඉතින් මම ඒ ඉගියට කැමතියි.


මල් පිපෙන දවසක සුවද විදින්න අය ඕන තරම් ඉදිවී,ඒත් බාගෙට වේලිච්ච පැලයක් ළග නවතින්න කාටවත් උවමණාවක් නෑ,නැවතුණත් ඒ නවතින්නෙත් සම්පුර්ණයෙන් වේලලා දරට ගන්නවත් හිතාගෙන,හිතේ තරහක් නෑ,මොකද මම වුණත් එහෙම නෙමෙයි කියන්න මට පුළුවන්කමක් නෑ.ඉතින් මේ ලෝකේ හැටි,සුළු පිරිසක් හැරුණු කොට බොහෝ දෙනෙක්ගේ විදිය ඒකයි.


කාලයත් එක්ක මට ලැබුණ අපුරුම තෑග්ගක් තියනවා,විදවන දේ පවා විදින්න තරම් හයියක් මට තියනවා,බොහෝ දෙනෙක් අඩන,පසුතැවෙන දේවල් ගැන නැවතිල්ලේ හිනාවෙන්න තරම් හයියක් මට තියන බව මං දන්නවා,ඒක මම අත්විදල තියනවා.ඉතින් එක අතකට මට දුකක් නෑ,ඉවසීමෙන් ඉදිරිය ගොඩනගන්න මට පුළුවන්.


සම්පුර්ණයෙන් නොසැලෙන හිතක් මට නැතත් පොඩ්ඩක් වැනිලා එක තැනකට ඇවිත් පුරුදු හයියෙන් ඉන්න හිතක් මට තියනවා,ඉතින් ඒ හිතට පුළුවන් වේවි වේලිලා පොළොවට වැටුණත් සැනසෙන්න පුංචිම කාරණාවක් හරි හොයාගන්න.ඒ වගේම කතරක පවා පොද වැස්සක් මවාගෙන සතුටුවෙන්න,සියල්ල අහිමි මොහොතක පවා බලාපොරොත්තු වෙන්න,අසුන්දරම දේ අතර සුන්දරව ගැවසෙන්න,ඒ තරම් ලොකූ හිතක් මට තියන බව මං දන්නවා.


නැති දේවල් ගැන සිහින,බලාපොරොත්තු යමෙක්ට විකාරයක් වගේ පෙනේවි,ඒත් මං හොයන්නේ "මේ මොහොතේ සතුට!"ඉතින් ඒක එකම එක සිතුවිල්ලක් විතරක්ම වුණත් කමක් නැහැ.මං ඒ සිතුවිල්ල තෝරගෙන සතුටු වෙනවා.සතුට අතිතයෙවත්,අනාගතයෙවත් හොයන්න මට අදහසක් නෑ,ඉතින් හැලිලා විසිරිලා පාවෙලා යන කොළ අතරෙ මං සතුටු වෙනවා,මොකද මං තවමත් සවිමත් කදක් ඇති ගසක්!!!


සත් සියක් හිරු කිරණ වියරුව මහී තල දවනා උජාරුව
නෙත් පියන් වියළිලා හැකිළුණ මළෝලඹු සිඹි දිය කශේරුව
විත් පවන් දුර රැගෙන යන විට උණුසුමක,සුසුමක අසීරුව
පත් සිදුණු තුරු හිසක් මත හිඳ ජීවිතේ හිනැහෙන අපූරුව....



Saturday, November 30, 2013

ආරම්භය_____



සුරතෙහි දබරැඟිල්ලෙන්
අල්ලාන සෙනෙහෙන්
තබා 'අ' යන්න මත
පුතේ,මෙතැනැයි ආරම්භය,

අයනු
අල් මයනු
මායනු
එකට ඈඳුනු,
''අම්මා''

ආරම්භ විය එතැනින්
''අකුර''
බොහෝ දුර පැමිණ අද
අග මුලක් නොදත් විට
සිහිනයෙන්
සෙනේහෙන්
විත් හිතම අතගාන
එදා
නොවැටහුණු
අද
වැටහෙන
ජීවිතයක සෙනෙහෙබර
ආරම්භය,
''අම්මා''

Sunday, November 10, 2013

නිහඬ හඬ______





නොලියූ නොකියූ කතා
නුඹටත් මටත් ඇත
මම,
ලියන්නට පස් මහ බැලුම් බලමින් සිටිමි
සුදුසු කාලය නොවන
බැවින්ම
නිහඩ වෙමි,
දිගු ශීත නිද්‍රාවකට යමි
ළපළු නැගෙන සුවඳත්
මිහිරි ගී ගෙනෙන සුළගත්
සමග අවදි වෙමි
හිරි වැටුණු
ඉරි තැළුණු
අත් පා ගසා නැගිටිමි,
හිස් පත් පුරා
වසන්තයෙහි උපන් බිළිඳුන්ට
වසන්තයට පෙර ගැබ්ගත්
කඨෝරත්වයේ සොඳුරු ස්වරැති
කවි දරුවෙක්
ප්‍රසූත කරමි,
සිනහව පිරි නැවතීමේ තිතකින්
අවසන සටහන් කරමි....

Monday, October 28, 2013

හිරු හෙටත් යළි වඩිනවා________







වියළි තුරු මත කළක් යන විට
වසත් ළා දළු නැගෙනවා
නුඹත් නොපතන මටත් නොසිතුණ
සුවඳ කුසුමන් පිපෙනවා

පෙරුම් පිරු ඒ සුවඳ අරගෙන
මද මරුත් දුර ඇදෙනවා
හුදකලා වූ මහා කඳු මත 

ගොසින් සුසුවඳ තබනවා

නැගුණු උල්පත් දියෙන් තෙමි
තෙමි සුවඳ දියකර හරිනවා
බිඳී විසිරී හැපී වැටෙමින්
නිම්නයට දිය ගලනවා

සුසුදු පෙණ කැටි දියෙහි බිඳෙමින්
රහස් හෙමිහිට කියනවා
නුඹට නැවතී ඉන්න හැකි නම්
සත්තකයි එය ඇහෙනවා

එහෙ මෙහේ යන වළාකුළටත්
දන්නවද කන් තියනවා
නදී ඇළ දොළ ගයන ගී පද
ස්වර රටා එහි තියනවා

නීල අහසට තනි වු පොළොවට
අපේ තනිකම දැනෙනවා
ඒ වෙලාවට අපට ළං වී ඉන්න
සුළඟත් එවනවා

පුංචි තරු කැට අතර මැද දී
අඳුර සිතුවම් මවනවා
දුරින් පෙනෙනා පහන් එළියට
මමත් බොහො පෙම් කරනවා

අමාවක රැය කලා පුරමින්
සුපුන් සඳ යළි වඩිනවා
නුඹට මට එය ගෙවෙන දිවියක
එකින් එක තතු කියනවා

දහවලද රැය උදාසන වී
හිරු හෙටත් යළි වඩිනවා
පුරුදු පැතුමන් සෙනෙහෙ අතරින්
ජීවිතය හැඩ කරනවා........