Tuesday, January 21, 2014

මඟ හැරී යාම___




කාලය,සුළඟ සේමය,අතැඟිලි අතරින් සියුම් ස්පර්ශ තබා ගලා යන්නේමැ'යි.නහරවැල් ඔස්සේ මතක පමණක්ම හදවතට දිවෙයි,තැන්පත් වෙයි.සිතුවිලි,මිනිසුන්,සිහින කාලය සමඟින්ම ගලා යයි,අවැසි වුවත් නවත්වා ගැනීමට නොහැකි තරම්ම වේගවත් ලෙස ගලායයි.බිඳීමටත්,විසිරීමටත් ඔරොත්තු දීමට තරම් සවියක් නිපදවා ගත හැකියි නම් මේ ගලා යාම එතරම් අපහසු නොවනු ඇති.

නමුත් ඒ තරම්ම සිත දැඩි කරගැනීමට තවත් කාලය අවැසිය,කාලයේ වැදී සිත තවත් තලා ගත යුතුය,තැලෙන්නට තැනක් ඉතිරි නොවන තෙක් තලා ගත යුතුය.එසේ කිරීමෙන් තවත් තැලීම් නොදැනෙණු ඇත්ද?යමෙක් දුක් වෙයි නම් ඔහු සතුට ලැබූ කෙනෙක්ය,සතුට දන්නා නිසාවෙන් ඔහු දුක්වෙයි,සතුට නොහැඳින සිටියානම් අගේ යැ'යි මට විටක හැඟෙන්නේ එබැවිනි.නමුත් එය එසේ සිදු වීමට තරම් අවකාශයක් නොමැත.එනිසාවෙන්ම කෙතරම් තැලුණද ඊළඟ තැලීමේදී පවා හලන්නට අලුත් කඳුළක් අපට ඇත.වෙනස් වන්නේ කඳුළ ඒමට සහ පිටවීමට ගතවන ''කාලය''ම පමණි.

කාලයත් සමඟ සසඳන විට තනි අතකට සමහර දේ බොහෝ සෙයින් බරින් වැඩිය,එවන් වූ දේ අත්හැර ඉදිරියට ගමන් කිරීමටත් සිනාසීමටත් අප පුරුදු විය යුතුය,තැනක සිට බලන විට ජීවිතය යනු කාලය තුළ අවස්ථානෝචිත අත්හැරීමත් රඳවා ගත් දෙය රැක ගැනීමත්ය.එක් දෙයක් අත හැරුණු පසු නැවත හමු නොවනු ඇත,එසේම අතැති දෙය වැටුණහොත් එය ද අහුළා ගැනීමට හැකියාවක් වෙත්දැ'යි කාට නම් කිව හැකි ද?

කාලය සුළඟ සේමය,කාලයෙන් ජීවිතයේ හිස්තැන් පිරවෙන්නේත් පුරවාගත හැකි වන්නේත් එබැවිනි.එසේම ගෙවී යන කාලය තුළ අහිමි වන දෑ වෙනුවෙන් තවත් බොහෝ දේ ඉදිරියෙහි නිමැවී ඇත,කාලය පවතිනා තෙක් මම එය තරයේම විශ්වාස කරමි,ඉතින් විශ්වාසය ඇති තෙක් සිනාසෙමි...

5 comments:

  1. හරිම අපුරුවට ගෙත්තම් කරලා මම අසාම බශා රටාවක්

    ReplyDelete
  2. භාෂා විලාශය මගේ හිත ගත්තා.. අපූරුයි..

    ReplyDelete
  3. සිත් ගත්ත බස් වහර නිසා කියවීමි අවසාන තෙක්ම...

    ReplyDelete
  4. ස්තූතියි යාළුවනේ :)

    ReplyDelete
  5. //එක් දෙයක් අත හැරුණු පසු නැවත හමු නොවනු ඇත,එසේම අතැති දෙය වැටුණහොත් එය ද අහුළා ගැනීමට හැකියාවක් වෙත්දැ'යි කාට නම් කිව හැකි ද?//
    සිතේ වූ අදහසක් විශිෂ්ට ලෙස වචන වලට පෙරළා...

    ReplyDelete