Saturday, July 20, 2013

මිලින කඩුපුල__



ඈ නැතිව මේ රාත්‍රීන් දිගු වනු ඇතැ'යි වරක් ඈ පැවසූ මතකය දැනුඳු මා ඉදිරියේ නැගී සිටින්නේ "උඹ එදා ඒ වචන තැකීමක් කළේ නෑ" යන චෝදනාව මා ඉදිරියේ තබමිනි.පැමිණි මාර්ගය දෙස ආපසු හැරී බලන්නයි දස දහස්වාරයක් හදවත ඇයද සිටියද,එය කිරීම එතරම් පහසු නැත.අඳුරු වී පෙනෙන අනාගතයක් අභිමුවෙහි,අතීතයේ මග හැරුණු සතුටක් දෙස නෙත් හෙලීමටත්,අඩු ලුහුඩු තැන් කඳුළින් සේදීමටත් මා අකමැතිය.යාම් සහ ඒම් පමණක්ම වන ජීවිතයකට සදාකාලික ළං වීමක් කෙසේ නම් ලැබෙන්නද?ඇඬිය යුතු අවස්ථාවල පවා මෙලෙස ප්‍රශ්නාර්ථ සමඟින් නැගෙන සිනාවන් මාගේ හුරු පුරුදු මිත්රයෙක් බවට පත්වූයේ මීට අවුරුදු දෙකකට ඉහත මට මගේ ජීවිතය හමු වූ තැනම නැති වූ දායි.
ඒ සොඳුරුතම පේරාදෙණිය සරසවි බිමයි;සරසවිය තරම් මාගේ බලාපොරොත්තු වලට ජන්මය දුන් තැනක් මේ මිහිපිට වූවා නම් ඒ ඇගේ උකුල් තලයම පමණකැ'යි මා හට වැටහුණේ ඈ මැකී ගොස් කාලයක් ගත වූ පසුවය.එදින පටන් අද වන තෙක් යම් බලාපොරොත්තුවක් මේ හිතෙහි පිළිසිඳ ගත්තද එයට ජන්මය දෙන තැනක් මට හමු නොවුණි.එවන් තැනක් නුදුටුවෙමි,එසේම සොයන්නට මැලි වීමි.මම ජීවත් වෙමි;ඒ ඇවිදින මල කඳක් ලෙස යැ'යි ඔබ මොහොතකටවත් නොසිතිය යුතුය.මන්ද මා සැබවින්ම අදටත් ඇගේ ආදරය විඳිමි,මා මිහිපිට ඇගේ ආදරයේ සිහිවටනයයි,ඈ වැන්නියකගේ කුළුඳුල් සහ අවසාන ප්‍රේමවන්තයා වීමට තරම් මම වාසනාවන්ත වීමි,ඉදින් ඊට එහා දෙයක් මට මේ පොළෝ තලයෙන් අවශ්‍ය නොවන බව මට වැටහෙන එකම කාරණයයි.
තණ පළස මත මා නිසාවෙන් ඇගේ හදවත දියවූ වාර අනන්තය,තෙත් වී ගිය ඒ රෝස දෙකම්මුළ් මම මගේ අතින් පිසදා සමාව අයදින විට,සුපුරුදුම සිනහවත් සමග "ඒකට කමක් නෑ සහන්,ඔයාට ඔයාගේ නිදහස තියෙන්නත් ඕන,මං මේවා හිතනව වැඩියි,මං හුරුවෙන්නම් සහන්" කියමින් මගේ පපුතුරට තුරුල් වූ විට විශ්වයම මගේ හදවත මතැ'යි මට සිතුණි."සමාවක් මොකද පවිත්‍රා,ඒකෙ වැරැද්දක් නෑ,මටත් සමාවෙන්න,මං ඔයාව තේරුම්ගන්නව මදි"එවන් අවස්ථාවල මට පැවසීමට තිබූ හොඳම වාක්‍යයි.නමුත් මුණිවත හැරෙන්නට යමක් මා ඇයට නොපිළිගැන්වූ වරදට අදටත් හිතින් තැවෙමි.මා ඇයට ආදරය කළෙමි,නමුත් පෙන්වීමට අපොහොසත් වීම මාගේ වූ විශාලම දුර්වලකමයි,ඈ නිතර නගන ප්‍රශ්න "ඔයා බොළඳ වැඩි"යි කියමින් නිගරුවට ලක් කළේ මම ය.ඇගේ බොළඳ බව තුළ කෙතරම් ආදරයක් ගැබ්ව තිබුණා ද?එය මනින්නට විශ්වයේම ඒකකයක් මානයක් නොවෙනු ඇති.එතරම් ආදරයක් මා ඉදිරියේ කෙතරම් නම් දුක්ඛ දෝමනස්සයන්ට හසු වුණා ද,මා කෙතරම් මෝඩද?
අයුතු තැන්වලටම,තහංචි දැමූ මතකයන්ටම සිත නැවත නැවත පහර දෙයි,මේ ස්මරණ්යෙහි කිනම් ඵලයක් ද,පසුතැවිල්ලක්ම විනා.මෙය මෙතනින් නතර කළ යුතුය.
නමුත් එය කෙසේනම් කරන්නද,ඒ සරසසවියේ ගත වූ අවසාන දිනයයි,සතුටු සිනා අතර,කඳුළැලිද අඩුවක් නොවී දක්නට ලැබුණි.කොල්ලන් කෙල්ලන් කියා වෙනසක් බෙදීමක් නොවුණි,සියල්ලෝම ඇඬූහ,සිනාසුනහ.මම ද ඈට ළංවී යමක් කීමට තැත් කළෙමි."ඇයි සහන් මේ?මොනව හරි කියන්න දෙයක් තියනවද,ඔයාව මට ආයිත් දවස ගාණේ දකින්න බැරිවෙනව සහන්,හිතනකොටත්..." ඇගේ මුව කතා කළේ එපමණක් වුවද,ඇගේ නෙත් ඊට බොහෝ දුර ගොස් මා ඇමතීය.ඒ අහිංසක නෙත් වලට මා කළේ ඇඟිල්ලෙන් ඇනීමක් නොව,යකුලකින් ගැසිමකි."පවිත්‍රා,කෝ ඔය කඳුළු පිහදාගන්න,පොඩි බබෙක් වගේ අඬන්න එප,කෙළින් ඉන්නකො.මට දෙයක් කියන්න ඕන" මම දිගටම කියාගෙන ගියෙමි."කියන්න සහන්,මං අහගෙන ඉන්නෙ,සමාවෙන්න මට මේ කඳුළු නවත්තගන්න අමාරුයි සහන්" ඈ බොඳව ගිය නෙතු අතරින් හෙළුු බැල්ම එදා නොවූවත් අද මා සිත සිදුරු කරයි."හ්ම්ම්ම්ම්ම්,පවිත්‍රා ඔයා කලබල වෙන්න එපා,අත්තටම මේකයි කාරණාව,අපි ගැළපෙන්නෙ නෑ,ඔයා ගොඩක් බොළඳ වැඩී මට..." "සහන්.....................,අනේ මේ ඔයාමද,ඔයාට පුළුවන්ද සහන්,කියන්න සහන්.."ඈ දෙතුන් වරක් උරයෙන් අල්ලා මා සෙලවූවත් ඇගේ මුහුණ එකදු බැල්මක් නොදුන් මම,තණ බිසටම නෙත් යොමා සිටියෙමි.ඇගේ නෙත් වලින් කෙතරම් කඳුළු කඩා වැටෙන්නට ඇත් ද,එය මා නුදුටුවෙමි.සමු ගැනීමේ උළෙළත් පසෙක තබා ඈ හඬාගෙනම දිව ගිය අයුරු කෙසේනම් මතකයෙන් මකන්නද?මගේ සුපුරුදු මුණිවත ඇයට කෙතරම් රිදවන්නට ඇත් ද?මා කියූ වදන් ඇගේ හුස්ම සොරා ගනීවී යැ'යි මට වරක්වත් නොසිතුණේ ඇයි?මා ඈ පසුපස නොගියේ ඇයි?අදත් එදා මෙන්මය,මුණිවත හැරෙන්නට මට පිළිතුරක් නැත,ආදරය තුළ මුණිවත රැකීම කෙතරම් බරපතල වරදක් ද,දැන් මම එය දනිමි,නමුත් පමා වැඩිය..

සඳවතකි නුඹ
මැදියමෙහි ආ
කඩු පුළයි මම
මග බලා හුන්
සඳකතින් සිඹ
වරක් දෙවරක්
අළුයමෙහි නුඹ
යන්න යන්නෙද
නුඹ නොමැති මා
මිලින වන වග
අනේ සඳ නුඹ
එය නොදන්නෙද............

ඈ ඇගේ දින පොතෙහි තබා තිබූ අවසාන සටහනයි,ඇගේ කවි කමත් නොරිස්සූ මට මෙතරම් තදින් ඒ කවිය දැනුණේ,ඇගේ ආදරය වටහාගත්තායින් පසුවය.නමුත් ඒ වන විට මගේ ලොව නොදැනුවත්වම සුවඳ කර තිබූ කඩුපුළ මිලානව ගොස්ය..
"හඳ ලස්සනයි නේද? මේ රූම් එකට ලස්සනට පේනව,ඔයා පේරාදෙණියම තෝරගත්තු කොච්චර හොඳ ද.."
මම මද සිනාවක් පෑවෙමි,පේරාදෙණියට පායාපු හඳ කවදත් සුන්දරය.
"මොකද කතා නොකරන්නෙ,ආව වෙලාවේ ඉඳන් ජනේලෙන් අහස බලාගත්තු ගමන්,මගුල් ඇඳුම මාරු කරගන්න අදහසක් නැද්ද මහත්තයට"
තවත් මුණිවත රැකීමෙන් ඇති ඵලය කුමක්ද...
"හඳ එළිය ලස්සනයි,ඒත් ඔයා තරම් නම් නෑ"
"කතා කරන්නත් තේරෙනව නේද?මං හිතුව ගොළුයි කියලා" ඈ මවෙත සිනාවක් පාමින් කීවාය."ඉන්න මං ඇඳුම් මාරු කරන් එන්නම්" සිනහවක් පාමින් මම කවුළුව අසළින් ඉවත් වුණෙමි.කවුළුව අසළට ළං වූ ඈ ද රාත්‍රිය සමග බර කතාවකට මුල පුරන අයුරක් පෙනිණි.ඇඳුම් පමණක් නොව මාද මාරු විය යුතුය,ආදරයට ආදරය කරන්නට දැන්වත් උගත යුතුමය,තවත් කඩුපුළකට මා ඉදිරියේ මිලින වන්නට ඉඩ දී බලා සිටීම කළ නොහැක.....


......................................................................දිනේෂ් සිල්වා


Friday, July 19, 2013

මම වරා මල,නුඹයි පවන__





පවන බොහො දුර නුඹත් සමගින්
වෙන්ව ආයෙමි පුරුදු නටගින්
ලබන්නට පෙම් වදන් මුවගින්
පැතූ මුත් පොඩි වුණා නියගින්

ශ්වේත වූ සළු ගිලිහි ගිය තැන
දුරයි යන්නට පුරුදු නිවහන
අදිසි හැගුමැති නුඹේ දෙනයන
එකම දසුනයි මහද රිදවන

දහවලෙහි නුඹ වුණෙන් ගිනියම්
අමතකද පෙර ළගින් හිඳි මම්
අනේ පුදුමයි පවන මට නම්
නුඹද මට පෙර කළේ කවි කම්

එදා දුන් පෙම තබා හිත යට
ඉතින් නික්මෙමි මහා පොළොවට
නියගයෙත් මුදු කුසුම් රඳනට
මුදාළමි ප්‍රේමයේ බිජුවට

........................................................දිනේෂ් සිල්වා