Thursday, February 21, 2013

රාමා ස්වාමිනි....


 

              


දැල්වේ හදවත ගිනිසිළු සේමා
වරදක්දෝ මා හද බැඳි ප්‍රේමා
පතිවත ගැන මගෙ සැකදෝ රාමා
ගිනිසිළු අතරට යවනුයෙ කෝමා

අශෝක වනයේ ශෝකයෙ චින්තා
පතුරා සිටියුරු කඳුළු අනන්තා
පණිවුඩ අරගෙන ආ හනුමන්තා
නොකිවෙද හද බැඳි මාගේ චින්තා

පැතිරී දස දෙස පියුම් සුගන්ධේ
වින්දේ නෑ සත්තයි ම'නිරින්දේ
ගිනිසිළු අග මැළවේ ආනන්දේ
නොදුටුවෙ මා හොරැහින් ඉකිබින්දේ

හුස්මක්වත් නොවැදුණි මට රාවණ 
ගිනිසිළු සිම්ඹේ පාද නැමීගෙන 
සැක හැරිදෝ මගෙ රාමා රාජන
ඇසෙදෝ මිහිලිය වැළපේ ශෝකෙන

එන්නට බැහැ පුරවරට අයෝධා
නොදැනේ පෙරවූ ගතිය ප්‍රබෝධා
සුරපුර අතහැර නරපුර ආදා
රාමා ස්වාමිනි ඇයි මේ බාධා.....

Saturday, February 16, 2013

කුවෙණියක් නොවෙමි...




                    

ආදරේ කළා ඔබ
ආදරේ කළා මම
ඔබේ ආදරෙ නමින්
දෙන්න කිරුළක් නැතත්
මගේ හද රජ මැදුරෙ
කන්‍යා වොටුණු ගෙන
පැළඳුවා ඔබේ හිස

පයට පොඩිකර මාව
ලොවක් ගැන මැවු සිහින..
සුරඟනන් සොයා ඔබ
ගිය නමුත්
නොදෙන්නෙමි සාප මම

සතුටින් සිටින්න
අවැසියක්..ඉසිඹුවක්..
වුවොත් පැමිණෙන්න..
නුඹ නමින් දිසාලා කෙනෙක් නැතත්
නුඹ දුන් ජීවහත්ත
ඇකයේ හොවාගෙන
වන වදින්නට නොදී
රැකගන්නවා මම
අතැර දමා පැමිණි
යක් රැහැ වෙත
යන්නයි හිත
මා උන් අතෑරියත්
උන් මා අතාරින එකක් නැහැ...

Wednesday, February 13, 2013

පුතු නැළවිල්ල...






හීන් කළුවර වාන් දම දම පුංචි ගෙපැළට එබෙනවා
ඈත ඉඳගෙන එළිය දෙන්නට නුඹේ මව් ගත අඩනවා
මේං කළුවර කළුත් නෑ තව ළගදි අම්මා වඩිනවා
දූට කිරි නොව පැළට උළු ගෙන අද හෙටම මෙහෙ බලනවා



නුඹේ මුදු මුව සිනා සුරතල් එදා වෙද්දී මැකෙනවා
මැකුණු ඒ කිරි සුවඳ ඉල්ලා නුඹේ අම්මා තැවෙනවා
ගෙපැළ පාදම සවිය ලබමින් පෙරවු සෙවණත බිඳිනවා
පුතේ මට එය පෙනී නොපෙනී මාත් ශොකෙන් දැවෙනවා
..




Monday, February 11, 2013

මංගල ලියවිල්ල..





බ්ලොග්කරණය ගැන නොදන්නෙමි,නමුත් බ්ලොග් කිහිපයක් කියවීම හේතුවෙන් සහ ඒ කෙරෙහි උපන් ආශාව හේතුවෙන් "මීදුමට එහායින්"ලෙස මාගේ ප්‍රථම බ්ලොග් ලියනය මෙසේ ආරම්භ කිරීමට සිතුවෙමි.මෙය ඉතා හදිස්සියේ ලත් ඉඩ ප්‍රස්තාවකින්,ඉතා හදිස්සියේම විවෘත කළෙමි.ඒ නිසා යම් යම් නොගැළපීම් වැරදි වන්නට අවකාශය ඕනෑ තරම් පවතී.
ඉගෙනීමට කැමැත්තෙමි,එනිසා ඔබ සැමගේ අදහස් යෝජනා චෝදනා අගයමි.මන්ද සැබවින්ම නැවතත් කියන්නේ මා බ්ලොග්කරණය පිළිබඳ නොදන්නෙමි.

  

                      "මීදුමට එහායින්" මීදුම ඉරන්නට
                 ප්‍රථම සටහන කෙටියෙන් මෙසේ තබමි.
                                 ආයුබෝවේවා!!!