Monday, October 28, 2013

හිරු හෙටත් යළි වඩිනවා________







වියළි තුරු මත කළක් යන විට
වසත් ළා දළු නැගෙනවා
නුඹත් නොපතන මටත් නොසිතුණ
සුවඳ කුසුමන් පිපෙනවා

පෙරුම් පිරු ඒ සුවඳ අරගෙන
මද මරුත් දුර ඇදෙනවා
හුදකලා වූ මහා කඳු මත 

ගොසින් සුසුවඳ තබනවා

නැගුණු උල්පත් දියෙන් තෙමි
තෙමි සුවඳ දියකර හරිනවා
බිඳී විසිරී හැපී වැටෙමින්
නිම්නයට දිය ගලනවා

සුසුදු පෙණ කැටි දියෙහි බිඳෙමින්
රහස් හෙමිහිට කියනවා
නුඹට නැවතී ඉන්න හැකි නම්
සත්තකයි එය ඇහෙනවා

එහෙ මෙහේ යන වළාකුළටත්
දන්නවද කන් තියනවා
නදී ඇළ දොළ ගයන ගී පද
ස්වර රටා එහි තියනවා

නීල අහසට තනි වු පොළොවට
අපේ තනිකම දැනෙනවා
ඒ වෙලාවට අපට ළං වී ඉන්න
සුළඟත් එවනවා

පුංචි තරු කැට අතර මැද දී
අඳුර සිතුවම් මවනවා
දුරින් පෙනෙනා පහන් එළියට
මමත් බොහො පෙම් කරනවා

අමාවක රැය කලා පුරමින්
සුපුන් සඳ යළි වඩිනවා
නුඹට මට එය ගෙවෙන දිවියක
එකින් එක තතු කියනවා

දහවලද රැය උදාසන වී
හිරු හෙටත් යළි වඩිනවා
පුරුදු පැතුමන් සෙනෙහෙ අතරින්
ජීවිතය හැඩ කරනවා........


Thursday, October 24, 2013

කීර අම්මා_______






 

ගැළපූ අකුරු සුහුඹුල් අත අත නෑර
සුවඳයි පුතේ නුඹ ආ ගිය මේ පාර
තනිවම යනෙන විට අද ගෙන මළු කීර
හුරුවට වගේ ගන්නට හිතෙනව පේර

නුග ගහ මුලින් මළ හිරු එළි නිවද්දී
පුර සඳ අමාවක එක ලෙස නැගෙද්දී
පසෙකින් නුඹේ අඩි සද්දය ඇසෙද්දී
හයියක් දැනුණ නුඹ තුරුළේ නිදද්දී

නුග ගහ යටට වී මළ හිරු ගිලෙන පැයේ
අම්මා ඉන්නවා නුඹ රුව හොවා ලයේ
ඉගිලෙන ගමන් හැම් බේකන් අරං රියේ
ඩිංගක් හිටිනවද බත් පත කන්න මයේ

නුඹවම හුරුව වෙනෙකක් නොපෙනෙණා හිතේ
දැකුමත් සුන්දරයි කළු වීදුරුව රථේ
නොතැබුව නමුත් රන් මුතු මිණි නුඹගෙ අතේ
හුස්මත් කළෙමි රැකවල් රත්තරං පුතේ



_______________දිනේෂ්